බස්නාහිරට ජලය සපයන්න අලුත් සැලැස්මක් - ''ළිං, වැව් සහ භූගත ජලය ගැනත් අවධානය''

Western Province Water Sinhala news
By Malith Madushan Oct 26, 2026 07:55 AM GMT
Report

බස්නාහිර පළාතේ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා දැනට ප්‍රමාණවත් ලෙස ප්‍රයෝජනයට නොගන්නා ළිං, වැව්, දියකඳුරු සහ අනෙකුත් භූගත ජල මූලාශ්‍ර කාර්යක්ෂමව භාවිතයට ගැනීමේ නව සැලැස්මක් සකස් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පවතින විකල්ප ජල මූලාශ්‍ර හඳුනාගෙන ඒවා පානීය ජල අවශ්‍යතා, ගෘහස්ථ කටයුතු, කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා විධිමත්ව යොදාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

සෙත්සිරිපායේ පිහිටි නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේදී පැවැති මෙම සාකච්ඡාව ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන 53ක සභාපතිවරු ද ඊට සහභාගි වී තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බස්නාහිර පළාතේ විශාල ප්‍රදේශයකට ජලය සපයනු ලබන නමුත්, එම ප්‍රදේශවල පවතින බොහෝ ස්වාභාවික හා විකල්ප ජල මූලාශ්‍රවලින් ප්‍රමාණවත් ප්‍රයෝජනයක් නොගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ හඳුනාගන්නා ජල මූලාශ්‍රවල ජලයේ ගුණාත්මකභාවය සහ ධාරිතාව ඇගයීමෙන් අනතුරුව, ඒවා සුදුසු අවශ්‍යතා සඳහා යොදාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ.

එමඟින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන පිරිපහදු කළ ජලය වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීමටත්, මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ජල මූලාශ්‍ර නිසි පරිදි භාවිතයට ගැනීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් ජල සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීමටත්, කෘෂිකාර්මික හා කාර්මික කටයුතු සඳහා සුදුසු ජල මූලාශ්‍ර භාවිතය පුළුල් කිරීමටත්, බස්නාහිර පළාතේ ජල සම්පත් තිරසාරව කළමනාකරණය කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.