නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් නව චක්‍රලේඛයක්..
අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට යම් අයෙකු පොලීසිය වෙත කැඳවන අවස්ථාවේ දී පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බවට වන චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
ඒ බලශක්ති ක්ෂේත්රයේ ක්‍රියාකාරිකයෙකු වන එම්. බී. වී. රැළපනාව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.
මෙම දැනුම්දීම එහි වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් සිදු කළේ ය.
එම චක්‍රලේඛය කෙටුම්පත් කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ තමා විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ අදහසක් පළ කිරීමෙන් පසුව ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බව ය.
කෙසේ වෙතත්, ඒ පිළිබඳ විමසූ විට ඊට අදාළව කරුණු පැහැදිලි කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බැවින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණේ ය.