නාමල් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Namal Rajapaksa Bribery Commission Sri Lanka Latest Headlines Sinhala news Airbus Bribery Scam
By R.rishma Sep 04, 2026 09:07 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (04) පෙරවරු 9.15 ට පමණ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් පැය කිහිපයක් තිස්සේ දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් පියවර ගෙන ඇත.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් එයාර්බස් A-330 වර්ගයේ ගුවන් යානා 06ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් මුදලක් ලබාගත් බවට එවකට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක යන අයට චෝදනා එල්ල වී තිබුණි.

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම ආරම්භ කළ විමර්ශනවලට අදාළව කපිල චන්ද්‍රසේන මහතා පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිට පසුව ඇප මත මුදාහැරි අතර, ඇප මත සිටියදී ඉකුත් මැයි 08 වනදා ඔහු අභිරහස් ලෙස මියගොස් සිටියදී හමු විය.

එය සියදිවි නසාගැනීමක් බවට පොලීසිය පසුව සැක පළ කළේය. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ දෙවන සැකකාරිය වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ, ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් මේ වන විටත් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

එමෙන්ම, මෙම විමර්ශන සඳහා සහාය දැක්වීම පිණිස ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයින් පිරිසක් ද ඉකුත් අගෝස්තු මස මුල් සතියේ මෙරටට පැමිණ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.

එම තීරණාත්මක විමර්ශනවලට අදාළව සිදුකළ කැඳවීමකට අනුව අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අත්අඩංගුවට පත්වූ අතර, ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.