අවධානයෙන් සිටින්න..! මුඛ පිළිකා ගැන බය හිතෙන හෙළිදරව්වක්..

Cancer Throat Cancer Sri Lanka
By Sewvandhi Jul 26, 2023 04:48 PM GMT
Report

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ, ලෝකයේ අනෙක් රටවල මුඛ පිළිකාව 16 වෙනි තැනට පවතින අතර ශ්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි දෙපාර්ශවය අතරම මෙය තෙවන ස්ථානයේ පසුවන බවයි.

ඇය සඳහන් කරනේ, මුඛ පිළිකාව වළක්වාගත හැකි අතරම කල් ඇතිව හඳුනාගැනීම මගින් එය සුව කරගත හැකි බවයි.

ජීවන රටාව නිසි ආකාරව සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමෙන් තුනෙන් එකක්ම පිළිකා සෑදීම වළක්වාගත හැකි බව සඳහන් කළ වෛද්‍යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ තවත් තුනෙන් එකක් පිළිකා කල් ඇතිව හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාරවලට යොමුවී සුවකරගත හැකි බවයි.

වෛද්‍යවරිය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව තුළ හඳුනාගන්නා මුඛ පිළිකා රෝගීන්ගෙන් 70%ක්ම හඳුනාගන්නේ පසු අවදියේදී බව ද වෛද්‍යවරිය ප්‍රකාශ කළා. පිරිමින් අතර පවතින සියලුම පිළිකාවලින් මුඛය, දිව සහ තොල් ආශ්‍රිත පිළිකා 13%ක් වන අතරම ස්වාසනාලය, ස්වාසනාලිකා සහ පෙනහළු ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් 9%ක් පවතින බවයි.

මෙම තත්ත්ව දෙකට ප්‍රධානම හේතුව දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන භාවිතය බව ද සඳහන් කළ වෛද්‍යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ මුඛ පිළිකා සඳහා සියලුම වර්ගයේ දුම්කොළ භාවිතය හේතු වන බව ද බුලත් විට සමග භාවිතයට ගන්නා පුවක් ද පිළිකාකාරකයක් වන බවයි.

මීට අමතරව මුඛ පිළිකා සඳහා හේතු වශයෙන් මධ්‍යසාර භාවිතය, හියුමන් පැපිරෝමා නැමති වෛරසය ආසාදනය සහ අඩු පෝෂණය මෙන්ම අයහපත් මුඛ සෞඛ්‍යයද හේතුකාරක වන බවද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කර සිටියා.