ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමනය ගැන හෙට සිදුවන විශේෂ දේ..

Parliament of Sri Lanka Shehan Semasinghe Ministry of Finance Sri Lanka Financial crisis Economy of Sri Lanka
By Sewvandhi Jan 08, 2024 10:41 AM GMT
Report

හෙට (09) පාර්ලිමේන්තුවට, ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙමගින් ණය ලබාදෙන ව්‍යාපාරයේ සේම ගනුදෙනුකරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂාව බවයි, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා පවසන්නේ, විශේෂයෙන් ම ග්‍රාමීය මට්ටමේ ජනතාව ඉලක්ක කර ගනිමින් සේවය සපයන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් සිදුවන සේවාවන් ඔවුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යාම වෙනුවට රාජ්‍ය මැදිහත්වීම සහිත අධිකාරියක නියාමනය යටතේ සිදු කිරීමට අදාළ ආයතනවලට ද පහසුවක් බවයි.

විශේෂයෙන් ම දෛනිකව මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 300% ඉක්මවා ගියා වාර්ෂික පොලී අනුපාත අයකරනු ලැබූ අවස්ථා පිළිබඳ ව ද මීට පෙර වාර්තා වී තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සිය දිවි නසා ගැනීම්, පවුල් ආරවුල් වැනි තත්ත්වයන් පවා වර්ධනය වූ අවස්ථාවන් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා වී තිබිණි.

ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක කරමින් සිටින සේවාවන් පිළිබඳ සලකා බලමින් ඒවායේ සේවාව මෙම කෙටුම්පත මගින් විධිමත් කෙරෙනු ඇති බව අමාත්‍යවරයා පවසයි. මෙම පනත සම්මත වූ පසු දැනට ක්‍රියාත්මක 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වනු ඇත.

Sponsored By Sarrita Jewellery

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමනය ගැන හෙට සිදුවන විශේෂ දේ.. | Microfinance And Credit Regulation