වැසූ බදු ෆයිල් මහින්දානන්ද යළිත් එලියට අදී - විශේෂ පිරිසකගෙන් ප්‍රශ්න කරයි

Central Bank of Sri Lanka Mahindananda Aluthgamage Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Aug 31, 2022 02:03 PM GMT
Report

කන්න දෙකකට රුපියල් බිලියන 100 ක ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (31)පැවසීය.

එම වී මෝල් හිමියා එක කන්නයකට බිලියන 50 ක ශුද්ධ ලාභයක් ලබා තිබෙන බවද මන්ත්‍රීවරයා කීය. ඔහු කන්නයකට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් මිලදී ගෙන තිබෙන අතර රුපියල් අනුවට මිලදී ගත් වී රුපියල් 220 ට විකුණා තිබෙන බවත් එක කිලෝවකින් රුපියල් 70 ක ලාභයක් ලබා තිබෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. මෙවැනි දේ සිදු වෙද්දී ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉන්නේ කොහිදැයි අලුත්ගමගේ මහතා ප්‍රශ්න කළේය.

රේස් බුකි තිබෙන අයකුගේ ලිපිගොනුවක් ද තමා ගෙන්වා ගත් බවද බිලියන 10 ක් ගෙවන්නැයි ඔහුට ආදායම් බදු දෙපාර්තමේන්තුව ලිපියක් යවා තිබෙන අතර ඔහු එය ගෙවන්නට නොහැකි බවට ලිපියක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවා තිබෙන බවත් වසරකට පසු පරීක්ෂණයක් තබා ලක්ෂ 10 ක් අය කරගෙන බදු ෆයිල් එක වසා දමා තිබෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

මත්පැන් බලපත්‍ර ලාභියෙකු මසකට ලක්ෂ පහළොවක විස්සක ශුද්ධ ලාභයක් ලබන නමුත් වසරකට බදු ලෙස ගෙවන්නේ ලක්ෂ දෙකක් හෝ තුනක් පමණක් බවද අලුත්ගමගේ මහතා කීය.ඉන්ධන පිරවුම්හල් හිමියෙක් වසරකට බදු ගෙවන්නේ පනස් දහසක් හෝ හැට අටදහසක් පමණක් බවද මන්ත්‍රීවරයා කීය. රටේ තිබෙන ආදායම් ටික හරියට කළමනාකරණය කර ගත්තොත් අයි.එම්.එෆ් යන්න අවශ්‍ය වන්නේ නැතැයි ද අතුරු අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now