ජාතික ආණ්ඩුවකට යයි?..මහින්ද ඉවත් වෙයි?..අගමැති රනිල්?..දේශපාලනය කැළඹෙයි.

United National Party Mahinda Rajapakshe Gotabaya Rajapakshe Ranil wickramasinghe
By Aruna Mar 28, 2022 06:55 AM GMT
Report

අගමැති ධුරයේ වෙනසක් ඉදිරියේදී සිදුවනු ඇතැයි දේශපාලන අංශවල කථා බහ පැතිර යමින් තිබෙනවා.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වත්මන් ආණ්ඩුව විසින් දේශපාලන වශයෙන් ප‍්‍රබල වෙනසක් සිදු කළ යුතු බවට මතුවෙමින් පවතින ඉල්ලීම් හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී මෙම වෙනස සිදුකිරීමට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ජාතික ආණ්ඩුවක් පිහිටුවා අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලබාදීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තාවේ.

රට තුළ පවතින වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දේශපාලන වශයෙන් කැපී පෙනෙන වෙනස්කමක් සිදුකර ජාත්‍යන්තරයේ අවධානය ලබාගත යුතු බවට මතුවෙමින් ඇති ඉල්ලීම් හමුවේ මෙවැනි වෙනස්කමක් සිදු කිරීමට අවධානය යොමුවී තිබෙන බවද එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත් මේ සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ කියා සිටියේ, තමා අගමැති තනතුරෙන් ඉවත්වන බවට මේ දිනවල ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප‍්‍රචාරවලට රැවටෙන්නට එපා යැයි ජනතාවට කියන බවයි.

මේ මොහොතේ අගමැතිකම අතහැර යෑමට හෝ වෙනත් අයෙකුට පැවරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අගමැතිවරයා එහිදී සඳහන් කළා.

තමා හෝ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිළිබඳව විවිධ කතා පැතිර යෑමට ඉඩ තිබෙන බවත් මේවා පට්ටපල් බොරු බවත් අගමැතිවරයා අවධාරණය කළා.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සර්වපාක්ෂික සමුළුවට සහභාගිවීම පිළිබඳව අදහස් දැක්වූ අගමැතිවරයා රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනයෙන් මුහුකුරා ගිය චරිතයක් බවද ඔහු සර්ව පාක්ෂික සමුළුවට සහය දීමට පැමිණීම සතුටට කරුණක් බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.

කෙසේවෙතත් මෙවැනි පරස්පර විරෝධී ආරංචි මාර්ග පැතිර ගියද ඉදිරියේදී දේශපාලන ධාරාවේ බොහෝවිට වෙනසක් සිදු වේ යැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now