අගමැති හදිසියේම විශේෂ ප්‍රකාශයක් සිදු කරයි..ප්‍රකාශය අතර තුර සජීවී විකාශනය යකා නටයි.(VIDEO)

Parliament Political Mahinda yapa Mahinda Rajapakshe
By Aruna Apr 19, 2022 07:29 AM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

එහිදී ඔහු පැවසුවේ ආණ්ඩුවක් කැමැත්තෙන් සිය රටේ ජනතාව දුෂ්කරතාවයට පත්නොකරන බවයි.

“මේ වනවිට රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බව අප පිළිගත යුතුය,” ඔහු ප්‍රකාශ කළා.

පවතින ගැටලු සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතු බව ඔහු කියා සිටියේ.

“දේශපාලනික වශයෙන් බොරදියේ මාළු බාන්න මෙය අවස්ථාව නොවෙයි කියලයි මා අදහස් කරන්නේ.

අපි හැමදෙනා ගැනම ඔවුන් බලා සිටිනවා. කවුද අවංකව රටට ආදරය කරන්නේ කියලයි ඔවුන් බලාගෙන ඉන්නේ.

ඒ නිසා රජයක් ලෙස අපට තියෙන වගකීමෙන් මිදෙන්න බෑ. ඒ වගේම මේ අර්බුදයෙන් ගොඩ එන්න අපට තිබෙන සැලසුම් එකිනෙක ඉදිරිපත් කිරීම අවශ්‍යයි.

රජයක් විදියට විරුද්ධ පක්ෂයටත් කිසිදු භේදයකින් තොරව රට ගොඩනඟන්න එන්න යැයි අප ආරාධනා කළේ, අවංක චේතනාවෙනි. එම ආරාධනය අදටත් වලංගුය.

රටේ පවතින අර්බුදය ජයගැනීමට නම් ඒ සඳහා ආර්ථික කළමනාකරණය ඉතා වැදගත්.

ඒ වෙනුවෙන් ජනතාවගේ මෙන්ම මේ උත්තරීතර සභාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇගයීමට ලක්වුණ ආර්ථික කළමනාකරණ කේෂ්ත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ආර්ථික විශේෂඥයින් ඉදිරිපත්ව තිබේ.

ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් සෙවිය යුත්තේ, සාකච්ඡා මාර්ගයෙනි.

අද ගාලු මුවදොර විරෝධතාවයේ නිරත කණ්ඩායම්වලටත්, මා සාකච්ඡාවට එන්නැයි මා මීට පෙර ආරාධනා කළා.

ඔවුන්ගේ වටිනා අදහස් අරගෙන කළ යුතු මැදිහත්වීම් කරන්න අපි ඉදිරිපත් වු බව සිහිපත් කළ යුතුයි.

දීර්ඝ කාලීන විදුලි කප්පාදුවට එක් හේතුවක් වුයේ, නිසි කලට විදුලි බලාගාර ඉඳිනොවීමයි.

පුනර්ජනනීය බලශක්ති පිළිබඳ තිබූ ඉදිරි පියවර ඇතැම් පිරිස් හිතාමතාම මඟ ඇරියා.

දැන් ඒ වරද අතීතයට පවරා වැඩක් නෑ. අපි ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.”

දවසින් දෙකෙන් මේ ප්‍රශ්නය අවසන් වෙනවා කියනවා ට වඩා අපිට හැකි ආසන්නම තැනකින් අපි විසඳුම් සොයනවා කියන එක වැදගත්.

මිනිත්තුවෙන් මිනිත්තුව හරි අපි විදුලි කප්පාදුව අඩු කරනවා. ඒ වගේම ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනයට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජනාධිපතිවරයා ඊයේ ජනතාව හමුවේ පැවසීය.

ඉන්ධන ලැබෙන බවට විශ්වාසයක් තිබෙන නිසා ඒ ගැන සැකයක් තියා ගන්න එපා.

එදිනෙදා වැඩ කරන්න පැය කිහිපයක් පෝලීමේ ඉන්න ගියාම ඇතිවෙන වේදනාව දන්න නිසා මේ තත්ත්වය මඟ ඇරීමට අවශ්‍ය බව අපි පිළිගන්නවා.

24 පැයෙන් විසඳුමක් නොලැබුණත් අප ඔබව තවත් බොහෝ කල් පෝලිම්වල නොතියන බව මතක තබා ගන්න.

ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විට ඒ සඳහා අපේ රටේ ආර්ථික, දේශපාලනික හා සාමාජීය ස්ථාවරත්වයන් ඉතා වැදගත්.

ඒ සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිවිය යුතු යැයි මා විශ්වාස කරනවා.

එහි ආරම්භ පියවරක් ලෙස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටිකාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බව මාගේ විශ්වාසය.

ජනාධිපතිවරයාගේ ද ආශිර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දක්වා අපි ගමන් කළ යුතු වෙනවා.

ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔබ සැමගේ සහායත් ජනතා ආශිර්වාදයත් ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.”

මෙහිදී අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කරන අතරතුර පාර්ලිමේන්තු සජීවී විකාශනයට විවිධ බාධා ඇති වුණා.

එය පහත වීඩියෝවෙන් නරඹන්න.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now