අනුරගේ බොරු එළියට - ගල් අඟුරු ගනුදෙනුවෙන් රටට බිලියන ගණනක පාඩුවක්?

SJB Anura Kumara Dissanayaka Latest Headlines Sinhala news Colombo politics heat up
By R.rishma Oct 20, 2026 08:16 AM GMT
Report

ගල් අඟුරු වංචාව, ජනතා මුදල් විනාශ වීම සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වන චෝදනා පිළිබඳව සමගි ජන බලවේගයේ බොරැල්ල ආසන සංවිධායක නීතිඥ රජිත ලක්මාල් මහතා අදහස් පළ කළා.

ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන අක්‍රමිකතා හේතුවෙන් රුපියල් මිලියන 18,000ක පාඩුවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති බව පෙන්වා දුන් ඔහු, මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතු බව අවධාරණය කළා.

ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ අවස්ථාවේ සිටම සමගි ජන බලවේගය ඒ පිළිබඳව හඬ නැඟූ බවත්, අදාළ ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකර නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

පසුගියදා සිදු වූ දීර්ඝ විදුලි කප්පාදුව රටේ ආර්ථිකයට මෙන්ම ආයෝජන පරිසරයට ද අහිතකර බලපෑමක් ඇති කළ බව පෙන්වා දුන් රජිත ලක්මාල් මහතා, නොරොච්චෝලේ බලාගාරය ආශ්‍රිත ගැටලු සහ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය පිළිබඳව මතු වී ඇති චෝදනා සම්බන්ධයෙන් ද විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

එමෙන්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වූ ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බලපෑම් එල්ල කළ හැකි නීති හඳුන්වා දීමට කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළා. අපරාධ මැඩලීමේ මුවාවෙන් ජනතාවගේ අයිතිවාසිකම් සීමා කිරීමට ඉඩ නොතැබිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා විසින් ජනතාවට ඉදිරිපත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ද විවේචනාත්මක අදහස් පළ කළ රජිත ලක්මාල් මහතා, ජනතාව නොමඟ යවන ප්‍රචාර වෙනුවට සත්‍යය හෙළි කරමින් ජනතා මුදල් සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීම බව අවධාරණය කළා.

ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් මතු වී ඇති චෝදනා පිළිබඳව කඩිනම් හා සාධාරණ විමර්ශනයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගයේ ස්ථාවරය බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.