ගෑස් හිඟයට තිතද? ලිට්‍රෝ වෙතින් සිලින්ඩර ලක්ෂ 7ක් ගැන විශේෂ දැනුම්දීමක්

Sri Lanka Litro Gas Economy of Sri Lanka Latest Headlines Sinhala news
By R.rishma Oct 25, 2026 06:41 AM GMT
Report

වෙළෙඳපොළේ පවතින ඉහළ ඉල්ලුමට සරිලන පරිදි එළැඹෙන 27 වැනිදා වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් දිවයින පුරා බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති බව සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පසුගිය 22 වැනිදා ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වූ අතර, ඊට අමතරව ඊයේ (24) දිනයේදී GOODWILL නෞකාව මගින් තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් දිවයිනට රැගෙනවිත් ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. එමෙන්ම, තවත් ගෑස් නෞකාවක් හෙට (26) දිනයේදී මෙරටට පැමිණීමට නියමිත බවද සමාගම සඳහන් කරයි.

පසුගිය 22 වැනිදා මෙරටට පැමිණි ගෑස් තොගයෙන් ගෑස් සිලින්ඩර 350,000ක් පසුගිය 23, 24 සහ අද (25) යන දිනවලදී අඛණ්ඩව වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

මෙලෙස නෞකා මගින් ගෑස් තොග ගෙන්වා ගැනීම සහ බෙදාහැරීම් වේගවත් කිරීම හරහා වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සපුරාලීමට සමාගම අපේක්ෂා කරයි. ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකි වනු ඇති බවට ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.