මත්පැන් මිල අඩුවෙයිද..? මෙරට මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් හෙළිවූ දේ.

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Jun 22, 2022 10:15 AM GMT
Report

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩුවීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩුවී ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සිදුකෙරුණු සාකච්ඡාවේදී ඒ පිළිබඳව හෙළිවී ඇත.

මේ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් අදාළ සාකච්ඡාව සඳහා සම්බන්ධ වී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් ඇතිවී තිබෙන බවය. 

ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිතවීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිතවීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතුවී ඇති බව එම නිලධාරීන් සඳහන් කළේය.

එසේම මත්පැන් මිල වැඩිවීම සහ ජනතාවට ආර්ථික අපහසුතා පැවතීම යන කරුණු නිසාද මත්පැන් ඉල්ලුම 30%කින් පමණ අඩුවී ඇති බව එම නිලධාරීන් පවසයි.

එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවනතාවක් ද මේ වනවිට පවතින බවය.

මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වන ආදායම පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා කර තිබේ. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත අදායම් සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now