චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට? භික්ෂූන් වහන්සේලා ගැන අලුත් රෙගුලාසි එයි
සිරගත වන භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව, බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදුකර සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම සංශෝධන සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා අදාළ කරුණු එළඹෙන සතියේ මැද වන විට ඉදිරිපත් කිරීමටද සැලසුම් කර තිබෙනවා.
නව රෙගුලාසි සකස් කිරීමට විශේෂ කමිටුවක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීමත් සමඟ සිරගත වන භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡාවක් මතු වුණා.
මේ සම්බන්ධයෙන් මහනායක හිමිපාණන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව, ශාසනික හා සමාජීය කරුණු පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී 1877 බන්ධනාගාර ආඥා පනත සහ ඒ යටතේ පවතින රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෙනම විශේෂ විධිවිධාන නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
පවතින නීතිය අභිබවා පුද්ගලයන් වෙනුවෙන් විශේෂ නියෝග නිකුත් කිරීම වෙනුවට, වර්තමානයට ගැළපෙන පරිදි නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇති බව සඳහන්.
නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත සහනයක්
සාකච්ඡාවේදී මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් යෝජනා කර ඇත්තේ, යම් භික්ෂූන් වහන්සේ නමක් අධිකරණයකින් වරදකරු වී වසර තුනකට අධික කාලයක් සඳහා සිරගත කරන අවස්ථාවකදී, උන්වහන්සේ අයත් නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කර එහි අදහස් හා නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි රෙගුලාසි සකස් කිරීම සුදුසු බවයි.
එම ක්‍රමවේදය හරහා අදාළ සහනය අවභාවිත කිරීම වැළැක්වීමට හැකි වනු ඇති බවද මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත භික්ෂූන් වහන්සේලා චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමට හැකි වන පරිදි නව රෙගුලාසි සකස් කිරීමට අවධානය යොමුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කෙරේ
මෙම රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා පසුගිය 08 වැනිදා සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා කටයුතු කරනවා.
කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් මහත්මිය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න මහතා සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පත් කර තිබෙනවා.
එම කමිටුවේ පළමු රැස්වීම පසුගිය 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබාදී ඇති බවද නිවේදනයේ සඳහන්.
සති දෙකක් තුළ සංශෝධන සම්මත කිරීමට සැලසුම්
අදාළ කමිටුව සති දෙකක් ඇතුළත අධ්‍යයනය අවසන් කර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම සංශෝධන ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම පියවර මඟින් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින ක්‍රියාපටිපාටිය නීතිමය රාමුවක් තුළ විධිමත් කිරීමට අපේක්ෂා කරන අතර, අදාළ සංශෝධන අවසන් කිරීමෙන් පසු නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශ මත චීවරය සහිතව බැහැරට රැගෙන යාමට අදාළ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.