‘අර්නාප්’ සුළි කුණාටුව ගැන අලුත්ම දැනුම්දීමක් - ලංකාවට සෘජු බලපෑමක් කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති ‘අර්නාප්’ සුළි කුණාටුවෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකට වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේයාම මහතා සඳහන් කර ඇත්තේ, බෙංගාල බොක්ක සහ ඒ ආශ්රිත මුහුදු ප්රදේශවල පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට ‘අර්නාප්’ ලෙස නම් කළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි.
ප්රදේශ රැසකට මිලිමීටර් 100 දක්වා තද වැසි
ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට සුළි කුණාටුව ඉන්දියාවේ අන්දමන් දූපත් ආශ්රිතව, ශ්රී ජයපුරම් ප්රදේශයට කිලෝමීටර් 590ක් පමණ නැගෙනහිරින් කේන්ද්රගත වී තිබූ බව වාර්තා වනවා. මෙම පද්ධතිය අද රාත්රියේ සහ හෙට දිනයේදී තවදුරටත් තීව්ර විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. එහෙත් එමඟින් ශ්රී ලංකාවට සෘජු හෝ ක්ෂණික දැඩි බලපෑමක් ඇති නොවන බවයි කාලගුණ බලධාරීන් පෙන්වා දෙන්නේ.
මේ අතර, උතුරු මැද, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික්කයේද විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති වීමේ හැකියාවක්ද පවතින බව සඳහන්.
මුහුදු ප්රදේශවල සුළං වේගය ඉහළ යා හැකියි
පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව, ඔක්තෝබර් 26, 27 සහ 28 යන දිනවල බෙංගාල බොක්කේ ගැඹුරු සහ මධ්යම මුහුදු ප්රදේශවලට යාත්රා කිරීමෙන් වළකින ලෙස ධීවරයින්ට සහ නාවිකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ මුහුදු ප්රදේශවල රළ ප්රබල වීමත් සමඟ මුහුද ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසිවලදී සැලකිලිමත් වන්න
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්ය පියවර ගන්නා ලෙසද මහජනතාවට දැනුම් දී තිබෙනවා. මේ අතර, ‘අර්නාප්’ සුළි කුණාටුව ඔක්තෝබර් 28 වැනිදා වන විට ඉන්දියාවේ ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඉන් අනතුරුව එහි තීව්රතාව ක්රමයෙන් අඩු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.