ජනතාවට නොමිලේම රජයෙන් ලැබුණ අයිතිය - ඉදිරියේ දී ආයෙ ලැබෙන සහනය මෙන්න..(PHOTOS)
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (25) යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමින් ය.
ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබාදෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසු ජනාධිපතිවරයා ”උරුමය” වැඩසටහන මගින් ලබාදෙන සින්නක්කර ඔප්පු සුරක්ෂිතව ඊළඟ පරම්පරාවට භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් තබා ගන්නා ලෙසද ඔප්පුලාභීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
මෙහිදී යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනතාවට ලබාදීම සිදු කෙරුණේ ය.
එයට ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක්වුණ අතර “උරුමය” වැඩසටහන යටතේ උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතයි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ නැවතුන උතුරු පළාත් නිවාස ව්‍යාපෘතිය ලබන වසරේ සිට යළි ආරම්භ කරන බවයි.
මෙම සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන එහි එක් පියවරක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උරුමය වැඩසටහන මෙරට ක්‍රියාත්මක විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන බවද සඳහන් කළේ ය.
මෙම වැඩසටහන දිවයිනේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීම අපේ අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා සියලු ජනතාවට තමන් ජීවත්වන භූමියේ සින්නකර ඉඩම් අයිතිය ලබාදිය යුතු බව ද පෙන්වා දෙන ලදී.
ඉඩම් ගැටලුව උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට දැඩිව බලපා ඇති අතර මේ පිළිබඳ උතුර සහ නැගෙනහිර නියෝජනය කරන මන්ත්‍රීවරු වරින් වර තමන් සමග සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ඒ අනුව ආරක්ෂක හමුදාව සමග සාකච්ඡා කර ආරක්ෂිත ප්‍රදේශවල තිබෙන ඉඩම් නිදහස් කළ හැකි අවස්ථාවලදී ඒ සියලු ඉඩම් ජනතාවට නැවත ලබා දී ඇති බව ඔහු කියා සිටියේ ය.