මුම්බායි පුහුණුකරු පුටුවට පොලාර්ඩ්
2027 ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්රීඩක කීරන් පොලාර්ඩ් පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, එම ධුරයේ කටයුතු කළ ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධනට එම තනතුර අහිමි වී තිබේ.
ඉන්දියා ටුඩේ වාර්තාවකට අනුව, මෙතෙක් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ පොලාර්ඩ් ප්රධාන පුහුණුකරු ධුරයට උසස් කර ඇත. ඒ සමඟින් පස් වතාවක් IPL ශූරතාව දිනා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ඔහුගේ දිගුකාලීන සම්බන්ධතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට නියමිතය.
පොලාර්ඩ් ක්රීඩකයෙකු ලෙස වාර 13ක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, IPL ක්රීඩා දිවියෙන් සමුගැනීමෙන් පසු පුහුණුකරණයට පිවිසියේය. නව පත්වීමත් සමඟ 2027 තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීමේ වගකීම ඔහුට පැවරෙනු ඇත.
මේ අතර, මහේල ජයවර්ධන ඔක්තෝබර් 17 වැනිදා සිය ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වේ. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ දශකයකට ආසන්න කාලයක් පැවති ඔහුගේ සම්බන්ධතාව තුළ, 2017, 2019 සහ 2020 වසරවලදී IPL ශූරතා දිනා ගැනීමට කණ්ඩායම සමත් විය.
2025 වසරේදී ප්ලේ-ඕෆ් වටයට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට 2026 තරගාවලියේදී අපේක්ෂිත දස්කම් දැක්වීමට නොහැකි වූ අතර, කණ්ඩායම් 10ක් සහභාගි වූ තරගාවලියේ නවවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය.
ඒ අනුව, 2027 IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ දස්කම් යළි ඉහළ නැංවීමේ අභියෝගය නව ප්රධාන පුහුණුකරු කීරන් පොලාර්ඩ් වෙත පැවරෙනු ඇත.