ගෑස් ටැංකියෙන් ගුටි කෑ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Srilanka politics
By Sithumi Mar 21, 2022 04:19 PM GMT
Report

විරෝධතාවයක් අතරතුරදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට ගෑස් සිලින්ඩරයකින් පහර දී ඇති බවට සමාජ මාධ්‍යවල පැතිරයන පුවතක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් විශේෂ ප්‍රකාශයක් කර තිබේ

. අලෙවි නියෝජිතයා ගෑස් සඟවාගෙන සිටින බවට චෝදනා කරමින් ගෑස් පාරිභෝගිකයින් පිරිසක් අද කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය රංවල ප්‍රදේශයෙන් අවහිර කර තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා කෑගල්ල පොලිසියට මැදිහත් වීමට සිදුවුණි. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේ මෙම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට ගෑස් සිලින්ඩරයකින් පහර දී ඇති බවට රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා "ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂයේ කණ්ඩායම් , මට ගෑස් සිලින්ඩරයකින් ගැහුවා කියන එක ප්‍රචාරය කරනවා.ඒක අමූලික බොරුවක්.කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මා කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා තියෙනවා

.ඒ වගේම ජනතාව වෙනුවෙන් අපි එදා වගේම කැපවෙලා කටයුතු කරනවා.දේශපාලන වාසි ලබාගැනීම සඳහා ජනතාව කුපිත කිරීම තමයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවල සිදුකරන්නේ. පීඩාවට පත්වෙලා ඉන්නේ ජනතාව, ඒ පිළිබඳ අපි වගකීම රජයක් ලෙස භාරගත යුතුයි"

ඉකුත් සතියේ මෙරටට ආනයනය කෙරුණු ගෑස් , සිලින්ඩර්වලට පුරවා වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමේ කටයුතු කෙරවළපිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තයේදී අදත් සිදුකෙරුණි. ඒ අනුව ගෘහස්ථ භාවිතය සඳහා ගෑස් සිලින්ඩර් අසූ දහසක් අද දිනයේ වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් රැගත් තවත් නෞකාවක් හෙට මෙරටට ළගා වන බවත් ඊට අදාළ ගෙවීම් සිදුකළ බවත් එම සමාගම පවසයි.

කෙසේ වෙතත් වෙළෙඳපොළ තුළ දක්නට ලැබුණු ගෑස් හිඟය තවදුරටත් පවතී. කොළඹ හා සෙසු ප්‍රදේශවල අදත් ගෑස් පෝලීම් නිර්මාණය වී තිබුණි. වාද්දුවේ ගෑස් පෝලිමක බොහෝ වේලාවක් රැඳී සිටි පුද්ගලයකු සිහිසුන් වූ අතර පසුව ඔහුව රෝහල්ගත කෙරුණි.

ගාල්ලේ ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ද ගාල්ල ,දෙවට මංසන්ධියේ ගෑස් බලාපොරොත්තුවෙන් ඊයේ රැය පහන් කළ ආකාරය දැකගත හැකිවිය. එමෙන්ම ලාෆ් ගෑස් අපේක්ෂාවෙන් ජනතාව දිගු පෝලීම්වල රැඳී සිටින ආකාරයද ප්‍රදේශ කිහිපයකදී දක්නට ලැබුණි. මේ අතර මිල ඉහළ දැමූ ලාෆ් ගෑස් සිලින්ඩර 400ක් අද පෙරවරුවේ ගාල්ල නගරය වෙත ලැබී තිබේ.

එම සිලින්ඩර මිලදී ගැනීම සඳහා දහසකට වැඩි පාරිභෝගිකයින් පිරිසක් පෝලීම්වල රැඳී සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. කෙසේවෙතත් එම පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු සහ පොලිස් නිලධාරියෙක් අතර සිදුවූ බහින් බස් වීමෙන් එහි නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබේ. මේ අතර කඩිනමින් ගෑස් ලබාදෙන්නැයි ඉල්ලා අද ප්‍රදේශ රැසකදී විරෝධතා පැවැත්විණි. හොරණ,පොකුණුවිට ප්‍රදේශයේ ජනතාව ගෑස් අපේක්ෂාවෙන් ඊයේ පස්වරුවේ සිට පෝලීම්වල රැඳී සිටියේ දැඩි අපහසුතා මැදය. අද දහවල් වනතුරුත් ගෑස් නොපැමිණීමෙන් උරණ වූ ජනතාව කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගය පැයකට ආසන්න කාලයක් අවහිර කරමින් විරෝධය පළ කළේය. රථවාහන අවහිර වීමෙන් මාර්ගයේ ගමන් කළ යතුරු පැදිකරුවෙක්, විරෝධතාකරුවන් සමග බහින් බස් වන ආකාරයද දක්නට ලැබුණි. ටික වේලාවකින් එතැනට පැමිණි හොරණ පොලිසියේ නිලධාරීන් තත්ත්වය පාලනයට කටයුතු කරනු ලැබීය. එමෙන්ම ගෑස් ලබාගැනීමට නාවින්න ඉන්ධන පිරවුම්හල වෙත පැමිණි ජනතාවත් අද උදෑසන හයිලෙවල් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් පැවැත්විය. පසුව පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. මේ අතර ගෑස් අපේක්ෂාවෙන් දින 3ක් පමණ රත්නපුර නගරයේ රැඳී සිටි ජනතාව අද රත්නපුර,කුඩුගල්වත්ත ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කළේය. පැය 3කට අධික කාලයක් පැවැති විරෝධතාවය නිසා රත්නපුර නගරයේ ඇතිවුණේ දැඩි රථවාහන තදබදයකි.

පසුව සහකාර පොලිස් අධිකාරී මහතා එහි පැමිණ හෙට දිනයේදී ගෑස් ගෙන්වාදෙන බවට පොරොන්දු වුණි. ඉන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියේය. මේ අතර වෙළඳපොලේ පවතින ගෑස් හිඟය නිසා භූමිතෙල් ඉල්ලුමද ඉහළ ගොස් තිබුණු බව පසුගිය දිනවල දක්නට ලැබුණි. ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හලේද භූමිතෙල් අවසන් වී තිබුණු නිසා ඊට විරෝධය පළකළ ජනතාව බේස්ලයින් මාර්ගය අවහිර වන සේ විරෝධතාවයේ නිරත වුණි

. මේ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබුණු අතර විදේශික සංචාරකයින්ද මේ විරෝධතාවය නිසා අපහසුතාවයට පත්ව සිටි ආකාරය දැකගත හැකිවිය. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වූ අවස්ථාවේ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වුණි. පැයකට ආසන්න කාලයක් පැවැති විරෝධතාවය පාලනය කිරීම සඳහා පියවර ගත් පොලිසිය, බේස්ලයින් මාර්ගයේ රථවාහන ගමනාගමනයටත් යළි අවස්ථාව සලසා දුනි. මේ අතර මාතර අනගාරික ධර්මපාල මාවතේ ගෑස් අලෙවි සැල ඉදිරිපිටඅද උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ගෑස් ලබා ගැනීම සඳහා ඊයේ දින සිට පෝලිමේ රැදී සිටි ජනතාව අද දිනයේත් ගෑස් නොලැබෙන බව ආරංචි වීමත් සමඟ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිය විරෝධය දැක්වීය. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියද මැදිහත් වූ අතර එහිදී හෙට දිනයේ ගෑස් ලබා දෙන බවට දුන් පොරොන්දුව මත විරෝධතාව අවසන් කෙරුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now