විදෙස් ගමන් තහනම් කරමින් ජෙහාන් අප්පුහාමිට නියෝගයක්

Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Aug 19, 2022 01:21 PM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (18) කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේ කලහකාරී ආකාරයෙන් හැසිරුණු බවට සැකපිට අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් 16 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය. මෙම සැකකරුවන් පිරිස කොම්පඤ්ඤ වීදිය පොලීසිය විසින් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය. මෙසේ ඇප මත මුදා හළ පිරිස අතර ස්වාමීන්වහන්සේ තුන්නමක් ද සිටිති. මෙහිදී පොලීසිය විසින් කළ ඉල්ලීම පිළිගත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් ඇති බව කියන ජොහාන් අප්පුහාමි නමැත්තා විදේශගතවීම වළක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කළේය.

කොම්පඤ්ඤ වීදිය පොලීසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ උද්ඝෝෂකයින් ඊයේ දින යළිත් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල් අමාත්‍යංශයට අයුතු ලෙස ඇතුළුවීමට පැමිණෙන බවට බුද්ධි තොරතුරක් ලැබී තිබුණු බව පැවසීය. එම බුද්ධි තොරතුර සනාථ කරමින් අන්තරයේ සිසුන් විශාල පිරිසක් ඊයේ දහවල් ලිප්ටන් වටරවුමට රැස් වූ බවත් එහිදී ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවත් පොලීසිය චෝදනා කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ඔවුන්ට විසිරී යන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් අණ කලත් ඔවුන් එම අණ කඩ කරමින් කලහකාරි ආකාරයෙන් හැසුරුණු බවත් එහිදී විසිරයෑමෙන් වැළකී සිටිමින් කලහකාරී ලෙස හැසුරුණු මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලීසිය පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ජෙහාන් අප්පුහාමි නමැති සැකකරුවකු මේ වනවිට නීත්‍යානුකූල අත්අඩංගුවෙන් පළා ගොස් ඇතැයිද පොලීසිය කියා සිටියේය. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මෙහිදී සැකකරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලීසිය සාවද්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උත්සාහ කරන බව පැවසීය. මෙම සැකකරුවන් ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ සාමකාමී ආකාරයෙන් උද්ඝෝෂණයක නිරත වූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, එහෙත් පොලිස් නිලධාරීන් සිය ගණනින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ සිට යූනියන් පෙදෙස හරහා පැමිණ උද්ඝෝෂකයන්ට පහර දී ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසුරුණු බව චෝදනා කර සිටියේය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බොරැල්ල, වෝර්ඩ් පෙදෙස, නාරාහෙන්පිට ආදී ප්‍රදේශයවල බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රවේශවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය විසින් පවසන කරුණු ඒ තුළින්ම අසත්‍යක් බවට ඔප්පු වන්නේ යැයි ද කියා සිටියේය. උද්ඝෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකමක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයින් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත නොවූ බවත් මෙහිදී ප්‍රචණ්ඩ ආකාරයෙන් ක්‍රියා කර ඇත්තේ පොලීසිය බවත් චෝදනා කළේය.

තවත් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පොලීසිය නීතිය අවභාවිතාවට ලක් කරමින් මෙම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙහිදී ජෙහාන් අප්පුහාමි නමැති අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණ දන්වා සිටියේ තම සේවාදායකයා මරදාන පොලීසියට ගිය බවත් එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බවට මරදාන පොලීසියේ නිලධාරීන් ප්‍රකාශ කිරීම නිසා ඔහු ඉන් පිටව ගිය බවය.

තම සේවාදායකයා කිසිදු අවස්ථාවක පොලිස් අත්අඩංගුවෙන් පළා ගිය අයෙකු නොවන බව පෙන්වා දුන් එම නීතිඥවරයා ඔහු ඕනෑම වෙලාවක අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බවත් දන්වා සිටියේය. මෙහිදී දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ අධිකරණය සැකකරුවන් 16 දෙනා ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත සැප්තැම්බර් මස 12 වනදා කැඳවීමට ද නියම කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now