ලොවම කම්පා කරමින් ඊශ්‍රායල SF බටයන් රෝහලකට ඇතුළු වී අමු අමුවේ සිදුකළ ක්‍රියාව..(CCTV VIDEO)

Israel Palestine Gun Shooting Israel-Hamas War
By Sewvandhi Jan 30, 2024 12:54 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

පලස්තීන සිවිල් වැසියන්ට සිදුවන ජීවිත හානි සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය නියෝගයක් ලබා දුන්න ද ගාසා තීරයේ මෙහෙයුම්වලින් මිය යන සංඛ්‍යාව තවදුරටත් ඉහළයමින් තිබෙන බව වාර්තා වෙයි.

පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදායින් පසු මේ දක්වා ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 26,637ක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 65,387කි.

මේ අතර "ගාසා සිටි" කලාපයට තුන් පැත්තකින් ඇතුළු වූ ඊශ්‍රායල හමුදා එහි පලස්තීනුවන්ට ඉවත්වන ලෙස දැනුම්දී ඇති බව සඳහන් ය. උතුරුදිග ගාසා තීරයේ පිහිටි "ගාසා සිටි" වෙතින් ඊශ්‍රායල හමුදා මීට පෙර ඉවත්වුවද දැන් නැවතත් ඔවුන් එහි පැමිණ ඇත්තේ හමාස් සංවිධානය යළි ක්‍රියාකාරී වී ඇති බව පවසමිනි.

ඊශ්‍රායලය මෙලෙස කෙටි කාලයක් තුළ ඉවත්වන ලෙස පලස්තීනුවන්ට දැනුම්දීම ඔවුන්ට අතිශය දුෂ්කර අත්දැකීමක් වී ඇති බව ජගත් සංවිධානය පවසයි. පසුගිය දෙසැම්බර් 1 වනදා සිට මිලියන 1.38ක් පලස්තීනුවන්ට තමන් සිටින ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දැනුම්දී ඇති අතර ඉන් 700,000ක් පමණ තාවකාලික කඳවුරු 161ක රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු කාර්යාලය සඳහන් කළේය.

මේ අතර පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයේ රෝහලකට, වෛද්‍යවරුන් හෙදියන් සහ සිවිල් වැසියන් ලෙස වෙස්වලාගෙන ඇතුළු වූ ඊශ්‍රායල විශේෂ බළකා සෙබළුන් එහි සිටි පලස්තීනුවන් තුන්දෙනෙකු සයිලන්සර් සවිකළ පිස්තෝල උපයෝගී කරගනිමින් ඝාතනය කිරීමේ සිද්ධියක් ඉමහත් ආන්දෝලනයකට ලක්වී තිබේ.

ඊශ්‍රායලය පවසන්නේ ප්‍රහාරයකට සූදානම් වූ හමාස් සන්නද්ධ සාමාජිකයන් තුන්දෙනෙකු සිය කොමාන්ඩෝ භටයින් විසින් එලෙස මරා දැමූ බවයි. මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සහාය මෙහෙයුම "UNRWA" සම්බන්ධ 190 දෙනකු හමාස් සන්නද්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට ඊශ්‍රායලය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් කළ මූලික චෝදනා පදනම් කරගෙන එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක් ජගත් සංවිධාන පලස්තීන සහාය මෙහෙයුමට මූල්‍යාධාර සැපයීම අත්හිටවනු ලැබීය. ඊශ්‍රායලය සිය චෝදනා බුද්ධි අංශ පත්‍රිකාවකින් සවිස්තරාත්මකව දන්වා ඇති අතර, එහි 11 දෙනෙකුගේ නම් සහ ඡායාරූප ද පළ කර තිබුණි.


කෙසේ නමුත් පලස්තීනුවන් පවසන්නේ එක්සත් ජාතීන්ගේ සහාය මෙහෙයුමේ කීර්ති නාමය පළුදු කිරීමේ අරමුණින් ඊශ්‍රායලය මෙම චෝදනාව එල්ල කරන බවයි. එහෙත් මේ චෝදනා හමුවේ ජගත් සංවිධාන පලස්තීන සහාය මෙහෙයුමේ ප්‍රධානී ෆිලීප් ලසරානි ඉල්ලා අස්විය යුතු බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම චෝදනා පදනම් කරගෙන ජගත් සංවිධානයේ පලස්තීන සහාය මෙහෙයුම නතර කිරීම, ඊශ්‍රායලයේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමක් බව චයිනා ඩේලි පුවත්පත විග්‍රහයක් ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි. 1940 දශකය අගභාගයේ මැදපෙරදිග සමස්ත පලස්තීන ජනතාව වෙනුවෙන් ස්ථාපනය කළ ජගත් සංවිධාන සහන මෙහෙයුම අක්‍රිය කිරීම, ගාසා තීරයේ සිය පාලනය තහවුරු කරගැනීමේ අවශ්‍යතාවක් ලෙස ඊශ්‍රායලය සලකන බව එමගින් පෙන්වා දෙයි.

ගාසා තීරයේ පමණක් නොව මැදපෙරදිග පුරා විසිරුනු මිලියන 5.9ක් පමණ වන පලස්තීන සරණාගතයින් වෙනුවෙන් කටයුතු කරන ජගත් සංවිධාන මෙහෙයුමේ කාර්ය මණ්ඩලය 13,000කට අධික ය. ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලදී ජගත් සංවිධාන සහන මෙහෙයුමේ 152 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.UNRWA ජගත් සංවිධාන මෙහෙයුම ප්‍රමාණවත් සම්පත් නොලැබුණහොත් මසක් ඇතුළත අක්‍රියවනු ඇති බව ජගත් සංවිධානය පවසයි. ඊශ්‍රායල චෝදනා පදනම් කරගෙන බටහිර රටවල් ඊට ලබාදෙන මූල්‍යාධාර අත්හිටුවීම "අශ්වයාට ඉදිරියෙන් කරත්තය තැබීම" වැනි ක්‍රියාවක් ලෙස චයිනා ඩේලි පුවත්පත සඳහන් කළේය.(උපුටාගැනීමක්)