අයි.පී.එල් ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කළ සුපිරි තරගය මෙන්න..

Delhi Capitals Sunrisers Hyderabad IPL 2024
By Aruna Apr 21, 2024 02:37 AM GMT
Report

අයි.පී.එල්. ඉතිහාසයේ තවත් නොකළ දස්කම් කිහිපයක් ප්‍රදර්ශණය කරමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ(20) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් ලකුණු 67ක දැවැන්ත ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණේ වාර්තා පිට වාර්තා තබමින්.

දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී මෙම සුවිශේෂී තරගය පැවැත් වුණා. මෙම ජයග්‍රහණයත් සමග හයිද්‍රබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි වැනි ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණියේ ය.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ අතිවිශාල ලකුණු පුවරු ගොඩනැගීම පුරුද්දක් කරගෙන සිටින හයිද්‍රාබාද් කණ්ඩායම, මෙම තරගයේදී ද පන්දුවාර 20 තුළදී ලකුණු 266ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව, ඔවුන් අයි.පී.එල්. ඉතිහාසයේ තෙවරක් ලකුණු 250 සීමාව පසුකළ දෙවැනි කණ්ඩායම බවට පත් වීම ද විශේෂත්වයක්.

හයිද්‍රබාද් වෙනුවෙන් සුපුරුදු ආරම්භය ට්‍රැවිස් හෙඩ් හා අභිෂේක් ශර්මා මෙවරත් ලබාදුන් අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දුවාර 6.2කදී ලකුණු 131ක සබඳතාවක් පැවැත්වීමට සමත් විය.

ඉන් ට්‍රැවිස් පන්දු 32කින් ලකුණු 89ක් රැස්කරද්දී, අභිෂේක් පන්දු 12කින් ලකුණු 46ක් රැස්කිරීමට සමත් වුණේ ක්‍රීඩා පිටිය තුළ දර්ශනීය ඉනිමක් දියත් කරමින්.

ඉන් පන්දුවාර 05 සම්පූර්ණ වද්දී ඔවුන් දෙදෙනා ලකුණු පුවරුව ශතක කඩයිමට රැගෙන ආ අතර, එය අයි.පී.එල්. ඉතිහාසයේ වේගවත්ම ලකුණු සියයට පැමිණීම ලෙස අලුත් වාර්තාවක්ද වුණා.

එමෙන්ම ඔවුන් දෙදෙනා පවර්ප්ලේ අවස්ථාවේදී ලකුණු 125ක් රැස්කළ අතර, එය සැලකෙන්නේද අයි.පී.එල්. ඉතිහාසයේ පවර්පේලේ අවස්ථාවේදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

කෙසේ නමුත්, මෙහිදී ලකුණු 267ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට පන්දුවාර 19.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 199ක් පමණයි.

දිල්ලි ආරම්භය අසාර්ථක වුවත්, ඔවුන්ගේ මැදපෙළ ශක්තිමත් කිරීමට ජේක් ෆ්‍රාසර්-මැක්ගුරුක් හා අභිෂේක් පොරෙල් සමත් වුණා.

ප්‍රිත්වි ෂෝව් හා ඩේවිඩ් වෝනර් ලකුණු 25ක් වද්දී පිටියෙන් ඉවත්ව ගියත්, මැක්ගුරුක් පන්දු 18කදී ගොඩනැගූ ලකුණු 65ත්, අභිෂේක් පොරෙන් පන්දු 22කින් ගොඩනැගූ ලකුණු 42ත් හේතුවෙන් දිල්ලි කණ්ඩායමටද ආරම්භයේදී ජයග්‍රහණයක යම් බලාපොරොත්තුවක්ද දිස් වන්නට විය.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ඉවත්ව යාමත් සමග සියල්ල කණපිට හැරුණේ ඔවුන්ගේ සියලු අපේක්ෂාවන් කනපිට හරවමින්.

හයිද්‍රාබාද් ජය තහවුරු කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ ටී. නටරාජන් ලකුණු 19කට කඩුලු 04ක් දවාගැනීමට සමත් විය. කෙසේ නමුත් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ට්‍රැවිස් හෙඩ්ය.