අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටුපලේ AFRS පද්ධතිය මඟින් හසු වූ හැටි.

Sri Lanka Police
By Wayomi Apr 29, 2024 06:01 AM GMT
Report

පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපලේදී ඊයේ(28) අත්අඩංගුවට ගැනුනා.

ඒ, ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කිරීමේදීයි.

මෙම සැකකරු ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ සවිකර ඇති Automated Facial Recognize System (AFRS) පද්ධතිය මගින් හඳුනාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු පාතාල අපරාධ කල්ලි නායකයෙකුව සිටි අංගොඩ ලොක්කා නැමැති අයගේ ප්‍රධාන ගෝලයෙකු බවට අනාවරණය වී ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ⁣මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුගිය අප්‍රේල් 19 වන දින මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් අයිස් මත්ද්‍රව්‍ය 510g ක් සමග නාවික හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු විසින් අයිස් මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් හට ලබාදී ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වී සැකකරු සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් යොදවා ඇත.

මේ අතර මෙම සැකකරු සම්බන්ධයෙන් 2011 වර්ෂයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීම, ගිනි අවි ලග තබා ගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.