නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පණිවිඩයක්..පාසල් සිසුන් ගැනත කියයි.(VIDEO)

Covid Sri Lanka Hemantha herath School childrens Covid booster vaccines
By Aruna Dec 13, 2021 06:56 AM GMT
Report

නිරෝගිමත් සහ සෞඛ්‍යාරක්ෂිත පරපුරක් ඇති කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය අතිශය වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

කොවිඩ් මර්දනය කිරීමට අවශ්‍ය බූස්ටර් හෙවත් තුන්වැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, මෙලෙස වර්ධක මාත්‍රාවක් ලබාදෙනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පූර්ණ අනුමැතිය අනුව බවයි.

මේ වනවිට සමාජයේ බොහෝ පිරිස් විසින් එන්නත් සම්බන්ධයෙන් විවිධ මත පළ කරමින් සිටින අතර, ඒ ගැන සාවද්‍ය මත ද පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙම වසංගතය තවමත් ලෝකයේ සියලුම රටවල්වලට අලුත් අත්දැකීමක් වන අතර, තවමත් වෛරසය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු කෙරෙමින් පවතින බවයි.

එම නිසා මෙම වෛරසයට එරෙහිව නිපදවන එන්නත් ද නවමු පරීක්ෂණවල සාධනීය ප්‍රතිඵල වන අතර ම, එම එන්නත් ද සියයට සියයක්ම නිවැරදි යැයි පැවසීමට නොහැකි වන්නේ , ඒ පිළිබඳ ව ද ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් පුළුල් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින හෙයින් බවයි වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

මේ නිසා වරකදී සුදුසු වන එන්නත් තවත් වරකදී නුසුදුසු මට්ටමකට පත් වීමට ඇති අවකාශය පිළිබඳව විග්‍රහ කරමින් මෙම අදහස් පළ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මේ හේතුවෙන් ලෝකයේ සියලුම රටවල් පාහේ ලබා දී ඇති තුන්වැනි මාත්‍රාව ශ්‍රී ලංකාව තුළ ද පුද්ගලයින්ගේ සෞඛ්‍ය තුළ ගුණාත්මක ප්‍රතිශක්තිකරණයක් ඇති කිරීම උදෙසා ලබාදීමට බෝවන රෝග පිළිබඳ විමර්ශනය සිදු කරන කාරක සභාව විසින් අනුමැතිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දී ඇති බවයි.

ඒ අනුව මෙරට සිටින ඕනෑම 20 වයස් ඉක්ම වූ අයෙකුට සිය කොවිඩ් මර්දන එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලබාගෙන තෙමසක් ගත වන්නේ නම්, නියත වශයෙන්ම බූස්ටර් එන්නත ලබා ගැනීමේ හැකියාව පවතින බව ද හෙතෙම පවසනවා.

එමෙන්ම කර්මාන්තශාලා සහ විවිධ ආයතනවල සේවය කරන 18 සැපිරූ ඕනෑම අයෙකුට ආයතනික වශයෙන් ලබා දෙන කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලියට යමින්, අදාළ තෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ද හැකියාවක් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර, සියලුම පාසල්වල වයස අවුරුදු 16 සම්පූර්ණ කළ සිසුන්ට දෙවන මාත්‍රාවත්, 12ට වැඩි පාසල් දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට තීරණය කර ඇති හෙයින්,ඊට අවශ්‍ය පසුබිම මේ වනවිටත් සකසමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදු‍රටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now