රජයේ රෝහල් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගෙන් දැනුම්දීමක්..
රජයේ රෝහල්වලට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කිසිදු රෝගියෙකු බිය නොවිය යුතු බවත් සෑම විටම රෝගීන්ගේ ජීවිතවලට වගකියන්න හා ඔවුන් ආරක්ෂා කරන්න මෙරට සියලුම රෝහල් ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය බැඳී සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් තමන් රජයේ රෝහල්වලින් ලබාදෙන ඖෂධවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් වග කියන අතර කිසිම රෝහලකින් බාල බෙහෙත් කිසිම දිනක රෝගීන්ට ලබානොදෙන බවට සහතික කළ හැකි බවයි ඔහු කියා අවධාරණය කළේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළා.
සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රමුඛ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය හැමවිටම කටයුතු කරන්නේ සෑම රෝගියකුගේම ජීවිත බේරාගැනීමට මිස කිසිදු රෝගියෙකුගේ ජීවිතයක් අවදානමේ දමන්නට නොවන බව ද මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නා.
එමෙන්ම පසුගිය දිනවල මාධ්‍ය මඟින් වාර්තා කළ ආකාරයට කිසිදු රෝගියෙකුගේ ජීවිත හිතාමතා අවදානමේ දැමීමට කිසිදු රෝහලක වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල කටයුතු නොකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා එහිදී කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එළැඹෙන 24 වැනිදා සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ හෙදියන්ට යම් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එම අවස්ථාවේ රෝගීන් ගේ ජීවිත අවදානමට ලක්නොකර ජීවිත සුරක්ෂිත කිරීම සඳහා පුහුණු වැඩසටහනක් ආරම්භ කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,
'' අපි දිවයිනේ සියලුම රජයේ රෝහල් ආවරණය වන පරිදි තමයි මෙම වැඩසටහන ආරම්භ කරන්නේ.
එහිදී බලාපොරොත්තු වෙන්නේ යම් රෝගියෙකුට බෙහෙතක් හෝ එන්නතක් ලබාදුන්නම එම පුද්ගලයාට එමගින් අසාත්මිකතාවක් ඇතිවුවොත් කොහොමද අදාළ පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් ඔහුව යථා තත්ත්වයට පතක්රන්නේ කියල. පසුගිය දිනවල රෝහල් කිහිපයකම රෝගීන් මිය ගියා.
සමාජ මාධ්‍ය මගින් විවිධ වාර්තා මගින් වාර්තා කළේ මේ රෝගීන්ගේ ජීවිත නැති වුණේ රෝහල්වල වරදින් කියලා.
අපි මොන වෙලාවත් සාධාරණීකරණය කරන්නේ නැහැ මිය ගිය එක ගැන මේ පුද්ගලයන්. නමුත් වෛද්‍යවරුන් හෝ හෙදියන් කිසිම විටක රෝගීන්ගේ ජීවිත අවදානමේ දැම්මේ නැහැ.
යම් යම් ඖෂධ ගත්තම අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. ඒ ඇතිවුණ අසාත්මිකතාවන් සහ රෝගීන්ගේ තිබුණ රෝගී තත්ත්වය මත මරණයක් සිදුවන්න පුළුවන්.
ඇත්තටම පැනඩෝල් පෙති දෙකක් බීපු කෙනෙක්ට අසාත්මිකතාවයක් එන්න පුළුවන්. ඔහුත් මිය යන්න පුළුවන්.
එක් එක් පුද්ගලයාට මේ තත්ත්වය බලපාන ආකාරය වෙනස්. අපිට රෝහල්වලට හෝ වෛද්‍යවරුන්ගේ පිටට මේ වැරැද්ද දාන්න බැහැ ''