පැය 10ක් CID යේ සිටි ලොක්කා - සිදුවූ දේ මෙන්න..

CID - Sri Lanka Police Keheliya Rambukwella Ministry of Health Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 01, 2024 08:05 AM GMT
Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (31) ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් පැය 10ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා, හදිසි මිලදීගැනීම්වලට මුවාවී ව්‍යාජ ලේඛන සකස්කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සැපයීම, මිලදීගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට,  මෙම නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටියේය.

අමාත්‍යවරයා විමර්ශන නිලධාරින්ට,  මහාධිකරණය හමුවේ නඩුවකට පෙනී සිටීමට සිදුවු හෙයින් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අමාත්‍ය අනුකමිටුවකට සහභාගි වු බැවින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටීමට නොහැකි වු බව දැනුම් දී ඇති බව සඳහන් ය.

ඒ අනුව ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලිඛිතව ඉල්ලිමක් සිදුකර තිබේ.

මෙවැනි පසුබිමක,ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිදුවීමට අදාළව එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිවිල් සංවිධානය කිහිපයක් "කෙහෙළිය ගෝ ගම" නමින් විරෝධතාවක නිරතවිය.

කෙසේ වෙතත් පසුව පොලීසිය විසින් අදාළ විරෝධතාවයේ නිරතවූ දස දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් පිරිස රැගෙන ගියේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙතට ය.

Sponsored By Sarrita Jewellery

පැය 10ක් CID යේ සිටි ලොක්කා - සිදුවූ දේ මෙන්න.. | Health Boss 10 Hours In Cid