"..තුන් පාරක් රේල්පාරට ගියත් කෝච්චියක් ආවේ නෑ.." ප්‍රදේශයක්ම කම්පා කළ 18 හැවිරිදි සිසුවියගේ ඝාතනයේ සුළමුල එළියට..
ධර්මරාජා ලිදියා දහඅට හැවිරිදි නව යොවුන් යුවතියකි. ඇය පදිංචිව සිටියේ උඩුවර තේ වත්තේ පහළ කොටසේ තම මව හා පියා සමඟිනි. ඇයට වැඩිමහල් සොහොයුරෙකි. ඔහු සුරේෂ් කුමාර්ය. කරුප්පයියා ඇගේ පියාය. පලර්මනී ඇගේ මවය. ලිදියා හාලිඇළ දෙමළ විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලැබුවාය. ඉගෙනුමට ඉතා දක්ෂ ඇය සාමාන්‍ය පෙළ විභාගයද ඉතා ඉහළින් සමත් වූවාය.
මවුපියන් කම්කරුවන් ලෙස වතුවල වැඩ කළත් ඇය ඉගෙනීමට දැක්වූයේ ඉමහත් ආශාවකි. උසස් පෙළ විභාගය ඉහළින් සමත් වන්නට ඇයට මහත් ඕනෑකමක් තිබුණාය. අසනීපයකට හැරෙන්නට ඇය පාසල් නොගිය දිනක් නැති තරම්ය. අයියා සුරේෂ්ද පෞද්ගලික ආයතනයක රැකියාවක් කළ බැවින් ඇගේ ගෙදර එතරම් අගහිඟකම් තිබුණේ නැත.
ඔවුන් හැමෝගෙම එකම බලාපොරොත්තුව වූයේ ලිදියා හොඳින් ඉගෙන ගනු දැකීමය. ඇය අ.පො.ස. (උ.පෙළ) ඉහළින්ම සමත්ව හොඳ රැකියාවක් සොයාගනු ඇතැයි ගෙදර සැවොම සිතූහ. කරුප්පයියා පියාගේ මෙන්ම පලර්මනී මවගේද එකම බලාපොරොත්තුව වූයේ දියණිය ලිදියාය. ලිදියා ලැයිමේ පදිංචි සම වයසේ අන් කෙල්ලන්ට වඩා වඩා හැඩකාරියක් වූවාය. අඟපසඟින්ද ඇය අන් තරුණියන්ට වඩා පිරිපුන්ය.
ඒ නිසා ඇගේ ආදරය පතා පැමිණි තරුණයෝද සිටියහ. ඒ අතරින් ඇගේ ආදරය අයැද සිටි අයකුද ඇය පදිංචි ලැයිමට ආසන්නව පදිංචිව සිටියේය. ඔහු රාජුය. එහෙත් ඔහු ඇයට වඩා වසර පහළොවක් පමණ වැඩිමහල්ය. රැකියාව ලෙස රාජු කුලී වැඩවල නිරත විය. ලිදියා සාමාන්‍ය පෙළ පෙනී සිටි අවධියේ සිටම රාජු ඇය පසුපස ආවේය. ඒ ඇගේ ආදරය පතමින්ය. ලිදියාගේ මවුපියන් පවසන්නේ රාජු කොතෙක් ඇය පසුපස ආවත් ලිදියා ඔහුට කැමැති නැති බවය.
එමෙන්ම ලිදියාගේ මවුපියන්ද කොහෙත්ම රාජුට කැමැත්තක් දැක්වූයේ නැත. රාජු තමා පසුපස නිතර ඇවිත් කරදර කරන බව ලිදියා මවුපියන්ට පවසා තිබුණාය. මෙය ලිදියාගේ මවුපියන්ටද මහත් හිසරදයක් විය. තම දියණියගේ අධ්‍යාපන කටයුතුත් මේ පලහිලව්ව නිසා කඩාකප්පල් වනු ඇතැයි මව පලර්මනී නිතර දෙවේලේ සිතුවාය. මේ නිසා ඇය සිය දියණියට ඔවදන් දෙමින් ඇගේ සිත නොමඟ නොයැවීමට වගබලා ගත්තාය.
රාජු නැඟණිය පසුපස එමින් ආදරය ඉල්ලමින් කරදර කරන බව ලිදියාගේ වැඩිමහල් සොහොයුරා වූ සුරේෂ් කුමාරද දැන සිටියේය. මින් ඔහුද කිපුණේය. රාජුට හොඳවයින් දෙකක් කතා කිරීමට තීරණය කළ සුරේෂ් නැඟණියට කරදර කරන්නේ මන්දැයි විමසීමට දිනක් රාජුගේ නිවෙසට ගියේය. ඒත් එදා රාජු නිවෙසේ නොසිටියේය. ඔහු හිස් අතින් ආපසු හැරුණේය.
“මම උගේ ගෙදරට ගියා හොඳ වෙලාවට උෟ ගෙදර හිටියේ නැහැ” සුරේෂ් ලිදියාට ඇහෙන ලෙස සිය මවට කීවේය. කරුප්පයියාද සුරේෂ්ගේ කතාව අසා සිටියේය. ගත වූයේ නිමේෂයකි. සුරේෂ් නිවෙසට පැමිණ තමා සොයා ගොස් ඇති බව දැනගත් රාජු කෝපයට පත්විය. ඔහු කෙළින්ම සුරේෂ්ගේ නිවෙසට ආවේය. ඒ වියරුවෙන් මෙනි. රාජු සුරේෂ් සොයා ආවේ නිකම්ම නොවේ. ඔහු අත කැත්තක්ද විය.
සුරේෂ්ගේ මවුපියෝද නිවෙසේ වූහ. රාජු ඔවුනට බැන වැදීමත් සමඟ ඇති වූයේ ආරවුලකි. දෙගොල්ලෝම ගැටුමකට මැදිව මහ හ¾ඩින් කෑ ගසා ගත්හ. ඒ සමඟම රාජු සිය අත තිබූ කැත්තෙන් නිවැසියන්ට පහර දෙන්නට විය. රාජු පලාගියේ ඉන් අනතුරුවය. රාජුගේ කැති පහරින් සුරේෂ් මෙන්ම ඔහුගේ මවුපියෝද තුවාල ලැබූහ. සුරේෂ්ගේ ඇඟිල්ලක්ද කැපී ගියේය. තුවාල ලැබූ ඔවුන් හාලිඇළ රෝහලට ඇතුළත් කෙරුණු අතර හාලිඇළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය. තුවාල ලත් තිදෙනාගෙන් ලබාගත් ප්‍රකාශ මත පොලිසිය රාජු සොයන්නට විය.
ලැයිමටද පොලිසිය පැන්නේය. මෙය රාජුට මහත් කරදරයක් ගෙන දුන්නේය. තමාට පොලිසියෙන් විසුමක් නැති බව දත් රාජු අවසානයේ පොලිසියට භාර විය. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණය ඔහු දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කළේය. ඒ මීට වසරකට පමණ පෙරය. කාලය මෙසේ ගෙවී ගියේය. පොලිසිය රාජුට එරෙහිව නඩුවක්ද ගොනු කළේය.
අධිකරණය නඩුව සමථ මණ්ඩලයට යොමු කරන්නට විය. මේ අතරතුර රාජු ලිදියාගේ මවුපියන්ට පණිවුඩ පිට පණිවුඩ එවීය. ඒ ප්‍රශ්නය සමාදානයකට පත්කර ගැනීම සඳහාය. තමා අතින් ඉදිරියට කරදරයක් නොවන බව රාජු කරුප්පයියාට කීවේය. තමා වෙනත් තරුණියක් හා විවාහ වී පිටරට යන බවද ඔහු කියා සිටියේය. ලිදියාගේ මවුපියෝද ඔහුගේ කතාව විශ්වාස කළහ. ඒ කෙසේ වෙතත් සමථ මණ්ඩලය ඉදිරියේ විභාග වූ නඩුවෙන් ලිදියාගේ මවුපියන්ට රුපියල් පනස්දහසක මුදලක් ගෙවිය යුතු බව නිලධාරීහු තීරණය කළහ.
එය වාරික දෙකකින් ලබා දිය යුතු බවද සමථ මණ්ඩල නිලධාරීන් රාජුට දැනුම් දුන්නේය. ඒ අනුව එක වාරිකයකට රුපියල් විසිපන්දහසක් කරුප්පයියාට ගෙවන්නට රාජුට සිදුවිය. පළමු වාරය ගෙවීමට තිබුණේ අදය. දහතුන්වැනිදාය. දෙවැනි විසිපන්දාහ ගෙවීම විසිහත්වැනිදාට නියම වී තිබිණි. මුදල් ගෙවීමට පොරොන්දු වීමත් සමඟ රාජුගෙන් සිය දියණියට මින්පසු කරදරයක් නොවනු ඇතැයි කරුප්පයියා මෙන්ම පලර්මනීද සිතූහ. ඔවුන් එසේ සිතුවද රාජුගේ යටි සිතේ තිබුණේ ඔවුන් කෙරෙහි වෛරයකි. එකක් ලිදියාගේ ආදරය ඔහුට නොලැබීමය.
අනෙක ඔවුනට රුපියල් විසිපන්දහසක් ගෙවීමට ඔහුට සිදුවීමය. කෙසේ හෝ ලිදියා යළි තමාට කැමැති කරවා ගන්නට රාජු නිතරම උත්සාහ ගත්තේය. පාසල් නිවාඩු නිසා ලිදියා පාසල් ගියේද නැත. ඒත් රාජු සිය උත්සාහය අත්හැරියේද නැත. ලැයිමේදී ඇය අහම්බෙන් මුණගැසුණු මොහොතේදීත් ඔහු ඇගෙන් ආදරය ඉල්ලා සිටියේය. නිවාඩුවෙන් අනතුරුව ඉකුත් දිනෙක පාසල් යළි ඇරැඹිණි. මේ බව දැනගත් රාජු පාසල නිමවී නිවෙස බලා එද්දී ලිදියා මුණගැසීමට තීරණය කළේය.
ඒ අනුව දිනක් රාජු ඇය මුණගැසීමේ බලාපොරොත්තුවෙන් ඇගේ පාසල අසල මාර්ගයට වී රැඳී සිටියේය. ඒත් එදින ඔහුට ඇය මුණගැසුණේ නැත. ඒ එදින ලිදියා පාසල් නොපැමිණි නිසාය. ඒ ඉකුත් 8 වැනිදාය. ලිදියා එදා පාසල් ගියාය. ඒත් ඇය එදා සිටියේ වෙනදා මෙන් සතුටින් නොවීය. “ඇයි බං මොකද ප්‍රශ්නයක්ද?” “ඔව් බං මගේ පස්සෙන් එකෙක් එනවා. උගෙන් හරිම කරදරයක්”ඇය මිතුරියකට කීවාය.
ලිදියා තමාට අකැමැති බවත් ඇය තමා මඟහරින බවත් රාජුට හොඳින් දැනිණි. ඒ නිසා රාජුගේ යටි සිතට ඇති වූයේ කෝපයකි. ඇයට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි ඔහු තීරණය කරන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇත. එදා ලිදියා උදෑසනම පාසල් යන අයුරු රාජු හොඳින් දුටුවේය. පාසල අවසන්ව යළි නිවෙසට එන විට ඇය මුණ ගැසිය යුතු බව සිතූ රාජු ඇය එන පෙරමඟ රැඳී සිටියේ තියුණු පොරොවක්ද අතැතිවය.
ඒ දෙකින් එකක් විසදා ගැනීම සඳහාය. රාජු ඇය එනතුරු ඇඟිලි ගැන්නේය. දහවල් දෙකට පාසල් නිමවූ ලිදියා නිවෙස බලා යන්නට වලස්බැද්ද පාරේ ගමන් ගන්නා බසයකට ගොඩ විය. ඇය හතේ කණුව හන්දියෙන් බසයෙන් බැස ගත්තාය. පොත් බෑගය ඇගේ කරේය. ඇය මාර්ගය දිගේ සුපුරුදු පරිදි ඉදිරියට ඇදුණාය. රාජු ඇය එන මඟ බලා සිටින බව ඇය හීනෙකින්වත් නොසිතන්නට ඇත.
ඒ හෙමින් ඉදිරියට එන ලිදියා දෙස සැඟව නෙත් යොමා සිටි රාජු ඇය ඔහු පසුකරත්ම එක්වරම ඇය වෙත කඩා පැන්නේය. මින් ඇය තිගැස්සී ගියාය. රාජු අත පොරොවක් තිබෙන බව දුටු ඇය බියෙන් වෙව්ලුවාය. එහෙත් වැඩියමක් හිතන්නට රාජු ඇයට ඉඩ දුන්නේ නැත. ඇසපිය නඟන වේගයෙන් රාජු අත තිබූ තියුණු පොරොව ලිදියාගේ හිස මත පතිත විය. ඒ සමඟම ඇය එතනම ඇද වැටුණාය.
කරේ තිබූ පොත් බෑගය ඉවතට විසිවී ගියේය. නැවතත් වෙර යොදා නැඟිට ගත් ඇය මාරයාගෙන් බේරීම සඳහා ගැහෙන හදින් යුතුව ඉදිරියට දිව ගියාය. ඇගේ ගෙලෙන් රුධිරය ගලා යන්නට විය. සුදෝ සුදු පාසල් ඇඳුම රක්ත වර්ණ ගැන්වී තිබිණි. ඒත් මාරයාගෙන් ඇයට කිසිදු බේරුමක් තිබුණේ නැත. ඇය පසුපසම පැමිණි රාජු ඇගේ හිසට පොරෝ පහර එල්ල කළේ ඒ සමඟය. ඇය කපාලූ කෙසෙල් කඳක් මෙන් මුණින් අතට ඇද වැටුණාය.
රාජුගේ සිතේ ඇය කෙරෙහි තිබූ කෝපය කොතරම් දැයි කිවහොත් වැටුණු ඇගේ හිසට නැවත නැවත පොරෝ පහර එල්ල කරන්නට තරම් ඔහු තිරිසනකු විය. පොරෝ පහරවලින් ඇගේ හිස පොඩි පට්ටම් වී තිබිණි. වරක් දෙපා සෙලවූ ඇය මහපොළොව සිප ගනිමින් නිහඬ වූවාය. “ඒයි අඩෝ” මාර්ගයේ ගමන් ගත් බිස්කට් ලොරියේ සිටි සේවකයන් රාජු දෙස බලමින් කෑ ගසාගෙන ගියේය. ඒ ඔවුන් සිද්ධිය සියැසින් දුටු නිසා වන්නට ඇත. මින් රාජු බියට පත්විය. ඒ බිස්කට් ලොරියේ සේවකයන් තමා හඳුනාගත්තේ දැයි යන සැකය නිසාය.
ඔහු වහා ඒ අසල තිබූ ලඳු කැලෑව දෙසට දිව ගියේ අත තිබූ පොරොව ඒ අසලට විසි කරමින්ය. මොහොතකට පසු වත්ත උඩහින් මහ පාරට ගිය පෙරියසාමි මහා මාර්ගයේ මුණින් අතට වැටී සිටි ලිදියා දුටුවේය. “දෙවියනේ මේ කරුප්පයියාගේ ලොකු කෙලී නේද” කවුද යකෝ මේ අපරාධය කළේ” පෙරියසාමි මින් බියට පත්ව දිවගොස් මේ බව කරුප්පයියාගේ මිතුරකුට කීවේය. ඔහු ඒ බව කරුප්පයියාට දැනුම් දුන්නේය. කරුප්පයියා විලාප දෙමින් එතැනට දිව ආවේ හිස ගිනිගත්තකු විලසින්ය. ලි
දියා මරා දමා ඇති බව මුළු ලැයිම පුරා පැතිර යන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. ඇගේ මව සහ ඥාතීන්ද, ලැයිම්වල පිරිස්ද සිද්ධිය වූ ස්ථානයට දිව ආහ. විලාප දෙමින් පැමිණි පලර්මනී මව දියණියගේ සිරුර බදාගෙන මහ හ¾ඩින් හඬා වැටුණාය. කරුප්පයියාද වේදනාව දරාගත නොහැකිව දියණියගේ සිරුර අසල ඉකි ගසන්නට විය. හඬන්නට තරම් කඳුළු ඔහුගේ දෙනෙත්වල නොවීය.
දහසකුත් බලාපොරොත්තු ඇතිව උස් මහත් කර සිප්සතර කියාදුන් තම දියණිය අමානුෂික ලෙස මහමඟ මරා දමා ඇති අයුරු දකින්නට තරම් ඔවුහු මහත් අවාසනාවන්ත වූහ. පලර්මනීගේ විලාපය මුළු ලැයිම පුරාම රැව් පිළිරැව් දුන්නාය. සිද්ධිය ඒ වන විට හාලිඇළ පොලිසියද දැනගෙන සිටියේය. ඒ 119 හදිසි ඇමතුම් අංශයට කිසිවකු දුන් දුරකථන පණිවුඩයකට අනුවය.
හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයා සිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සමඟ සිද්ධිය වූ තැනට පැමිණියේ ඉන් පසුවය. පොලිස් නිලධාරීන් දුටු පලර්මනී තවත් මහ හ¾ඩින් කෑ ගැසුවාය. ඇයට දියණියගේ වියෝව දරා ගත නොහැකි වූවාය.
“සර් මේ මගේ කෙල්ල. මම මේ අත්දෙකේ කරගැට හැදෙනකල් වත්තේ වැඩ කළේ මේකිව රැජිනියක් කරන්නට සර්.... ඒත් මගේ කෙල්ලට ඒ වාසනාව නැති වුණා. සර් මගේ කෙල්ල මැරුවේ උෟම තමයි සර්... ඔයිට ඉස්සෙල්ලත් මාවත්, පුතාවත්, මහත්තයවත් ඕකා කැත්තෙන් කැපුවා. උෟ තමයි සර් මගේ අහිංසක කෙල්ල මැරුවේ. වෙන කවුරුත් නෙවෙයි සර් උෟ තමයි.. උෟම තමයි සර්....” ඇගේ විලාපය මඳක් අඩුවනතුරු සිටි පොලිස් ස්ථානාධිපතිවරයා පලර්මනීගෙන් මෙන්ම කරුප්පයියාගෙන්ද ලිදියා ඝාතනයට සැක කරන පුද්ගලයා කවුදැයි විමසුවේය.
ඔවුන් එක හෙළාම කීවේ ලිදියා මරා දැමුවේ ඇගේ ආදරය පතා ඇය පසුපස පැමිණි රාජුම බවය. නිලධාරීන් ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන්නට වූ අතර බදුල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්‍ෂණය සිදු කළේය.
මේ අතර සිද්ධිය ඉහළ නිලධාරීන්ටද දැනුම් දෙන්නට හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළ අතර බදුල්ල කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා විමර්ශන ඉදිරියට ගෙන යා යුතු ආකාරයත් ලිදියා ඝාතනය කළ සැකකරුට ප්‍රදේශයෙන් පලායෑමට නොහැකි වන අයුරින් ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දයානන්ද ඇතුළු කණ්ඩායමක් සැකකාර රාජු සොයා ඔහු පදිංචි නිවෙසට ගියහ. එහෙත් ඔහු නිවෙසේ නොවීය. ඒ වනවිට බදුල්ල සොකෝ කණ්ඩායම්ද සිය විමර්ශන ආරම්භ කර තිබූ අතර සිද්ධිය වූ අවට ලඳු කැලෑ සෝදිසි කරද්දී ලේ තැවරුණු පොරොවක් ඒ අසල තිබී සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. එය ලිදියා ඝාතනයට උපයෝගී කරගත් පොරොව බවට නිලධාරීන් විශ්වාස කළේ එහි තැවරී තිබූ රුධිරය නිසාය.
නඩු භාණ්ඩයක් ලෙස එය නිලධාරීන් සිය භාරයට ගත්තේය. ඒ අතර අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කෙසේ හෝ රාජු කොටුකර ගැනීමට උත්සුක වූහ. ඒ අනුව ඔහු රැඳෙතැයි සැක කරන ස්ථාන මෙන්ම ලැයිමේ පදිංචිකරුවන් ලබා දෙන ඔත්තු ඔස්සේද නිලධාරීහු රාජු සොයා ගියහ. රාජුටද මේ බව දැනගන්නට ලැබී තිබිණි.
මාර්ගයෙන් ඉවතට පැන ගත් රාජු කැලෑ මාර්ග ඔස්සේ ඇළ මාර්ගයකට පිවිස හීන් සැරේ සිය නිවෙස ආසන්නයට පැමිණියේ ඒ නිසාය. නිවෙස අවට ලැයිමේ පදිංචිකරුවන් මෙන්ම පොලිස් නිලධාරීන් ද සිටින අයුරු රාජු අෑත සිටම දුටුවේය. පොලිසියෙන් තමාට විසුමක් නැති බව ඔහුට වැටහිණි. තමා කළ අපරාධයක තරමද ඔහුට ඒ වනවිට අවබෝධ වී තිබිණි. පොලිසියට හසුවුවහොත් බඩකට පුරා කන්නට වන බව දත් ඔහු පොලිසියෙන් ගුටිනොකා සිටීමට නම් ජීවිතය නැතිකරගත යුතු බව සිතුවේය.
දිවි තොර කර ගැනීමේ අදහසින් ඔහු රේල් පාර දෙසට පියවර මැන්නේ ඉන්පසුවය. ඒ දුම්රියට පැන දිවි තොර කර ගැනීමේ අරමුණෙන්ය. ඒත් ඔහු ඉදිරියට කිසිදු දුම්රියක් පැමිණියේ නැත. ඔහු රේල්පාර දිගේ ගොස් බදුලු ඔයට නුදුරින් එගොඩ විය. ඒ වන විට ඔහුට සියදිවි හානි කර ගැනීමට මහත් බියක්ද ඇති වී තිබිණි. ඔහුගේ හිත වෙනස් විය.
“මම පොලිසියට ගිහින් බාර වෙනවා” අවසානයේ ඔහු එලෙස සිතන්නට ඇත. ඒ අනුව යළි හාලිඇළට පැමිණි රාජු තමා කළ වරද නිලධාරීන්ට පවසා පොලිසියට බාර විය. පොලිසියට බාර වූ රාජු ස්ථානාධිපතිවරයා ඉදිරියට පමුණුවනු ලැබීය. අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයාද එක්ව රාජුගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීමට ඇරඹුණේ ඉන් අනතුරුවය. රාජු පදිංචිව සිටියේ උඩුවර වත්ත පහළ කොටසේ දෙමෝදර ප්‍රදේශයේය. ඔහු ගියේ දෙමෝදර මහ විද්‍යාලයටය.
නවවැනි වසර දක්වා ඔහු එම විදුහලේ අධ්‍යාපනය ලැබීය. “ඇයි උඹ ඒ කෙල්ලව මැරුවේ....” අපරාධ විමර්ශන භාර ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දයානන්ද ඔහුගෙන් ප්‍රශ්න කළේය. “මම මීට අවුරුදු තුනකට කලින් කරුප්පයියාගේ ලොකු දුවත් එක්ක යාළුවෙලා හිටියා සර්... ඒ නිසා මමත් ලිදියාගේ අම්මා තාත්තාත් එක්ක ආරවුලකුත් ඇති වුණා. මම දවස් 14ක් රිමාන්ඩුත් වුණා. පස්සේ නඩුව සමථයකට පත්වුණා.
මට රුපියල් පනස්දාහක් ගෙවන්න වුණා. අපි දෙන්නා යාළුවෙලා හිටියත් සතියට වරක් එයා මාත් එක්ක අමනාප වෙනවා. ආයෙත් කතා කරනවා. ආයෙත් මාත් එක්ක රණ්ඩු වෙනවා. සති දෙකකට සැරයක්වත් සම්බන්දේ නතර කරනවා. මේකට හේතුව මොකක්ද කියලා අහන්න මම කිහිප වතාවක්ම උත්සාහ කළා. එයා බය කරන්න කියලා හිතාගෙන එයා ඉස්කෝලේ ඇරිලා එනකොට වලස්බැද්ද පාරේ හැංගිලා හිටියා.
හත්වැනිදාත් මම එහෙම එයා එනකම් බලාගෙන හිටියට එයා එදා ආවේ නැහැ.අට වැනිදාත් මම එයා බය කරන්න කියලා පොරවකුත් අරගෙන ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකම් පාරේ හැංගිලා හිටියා.මම එයාගෙන් ඇහැව්වා ඇයි උඹ මාත් එක්ක තියෙන සම්බන්ධෙ නතර කළේ කියලා. මම උඹට ආදරය කරන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න කියලා එයා මට කිව්වා. මට හොඳටම කේන්ති ගියා.
ඒත් එක්කම මම අතේ තිබුණු පොරොවෙන්....”සැකකාර රාජු පොලිස් නිලධාරීන් ඉදිරියේ කියාගෙන ගියේය. “එයා බිම වැටුණාට පස්සෙත් මම පොරොවෙන් කෙටුවා. ඒ කොටද්දි බිස්කට් ලොරිය මට කෑ ගහගෙන ගියා. පස්සේ පොරොව කැලේට විසි කළා. කැලේට පැන්නා. මම කෝච්චියට පැනලා මැරෙන්න හිතුවා. තුන් පාරක් රේල්පාරට ගියත් කෝච්චියක් ආවේ නැහැ. පොලිසිය මාව හොයන බව මම දැන ගත්තා. මට තේරුණා ගැලවෙන්න බැහැයි කියලා.
ඒ නිසා රේල් පාර දිගේ ගිහින් බදුලුඔයෙන් එගොඩ වෙලා හාලිඇළට ඇවිත් පොලිසියට බාර වුණා.” සැකකාර රාජු කියන්නට විය. ඔහුගේ ප්‍රකාශයට අනුව ඔහු ලිදියා සමඟ වසර තුනක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. එහෙත් ඇගේ මවුපියන් කියන්නේ රාජු සිය දියණියගෙන් ආදරය ඉල්ලා ඇයට කරදර කරමින් ඇය පසුපසින් පැමිණි බවය. මේ බව නිශ්චිතව දැන ගැනීමට සිටි එකම පුද්ගලයා ඒ වනවිට ජීවතුන් අතර නොවීය.
ඒ ලිදියාය. ඇය ජීවත්ව සිටියා නම් රාජු කියන්නේ බොරු ඇගේ මවුපියන් කියන්නේ බොරු යන්න සනාථ කර ගැනීමට හැකි බව හාලිඇළ පොලිසිය කීය. සියල්ල මේ වනවිට නිමාවී ඇත. අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ දහඅට හැවිරිදි ධර්මරාජා ලිදියා සිය මවුපියන් හා ඥාතීන්ගේ කර මතින් අවසන් ගමන් ගොස් අවසන්ය. බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු මීට පෙරද ඝාතනයට ලක්වී තිබිණි.
මේ ඝාතන දෙකම සිදුවූයේ ආදර පලහිලව් මතය. පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ සිප්සතර හැදෑරූ ශිෂ්‍යාවක් ඇගේ ආදරය පතා පැමිණි නරුමයකු විසින් ලුණුගල ප්‍රදේශයේදී ඝාතනය කළේය. ඇයද පාසල් අවසන් වී ගෙදර යමින් සිටියදී පැහැරගෙන ගොස් අතවරද කොට හිස කළුගලක ගැසීමෙන් මරා කර තිබිණි. අනෙක් ශිෂ්‍යාව ඝාතනය කර තිබුණේ පිහි පහර එල්ල කිරීමෙනි. ඇගේ ආදරය සොයා ආ තරුණයකු විසින් ඇය මරා දමා තිබුණේ පස්සර ප්‍රදේශයේදීය.
ධර්මරාජා ලිදියා ශිෂ්‍යාව එවන් නරුමයකු අතින් සිදුවූ තුන්වැනි ඝාතනය බව කියයි. අත්අඩංගුවට ගත් සැකකාර රාජු බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. බදුල්ල ජේයෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ අධීක්‍ෂණය මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රුවන් ගුණතිලක, අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්. එම්. දයානන්ද ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළහ. (පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් ලිපිය සකස් කෙරිණි.) කීර්ති මෙන්ඩිස්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |