මහ රෑ හමුදාව මාධ්‍යවේදීන්ටත් පහරදෙයි..කැමරා උදුරාගෙන දත්ත මකා දමයි..(VIDEO/PHOTOS)

Galle Face Protest Gota Go Gama
By Aruna Jul 22, 2022 02:53 AM GMT
Report

අද (22) අලුයම කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගම අරගල භුමියේ රැදී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කළේය.

බීබීසී වීඩියෝ මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් පහර දුන් අතර එක් සොල්දාදුවෙක් ඔහුගේ දුරකථනය උදුරා ගෙන ඔහු වීඩියෝගත කළ දර්ශන මකා දමා ඇති බව බීබීසී සිංහල පුවත් සේවය පවසනවා.

එහි සිට එම අවස්ථාවේ සජීව දර්ශන ලබාදෙමින් සිටි බීබීසී දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල් ; ඔවුන් BBC මාධ්‍යවේදීන් බව පුන පුනා ප්‍රකාශ කරමින් තිබියදී හමුදා නිලධාරින්ගේ පහර කෑමට ලක්වන ආකාරය සජීව දර්ශන වල ද සටහන්ව තිබේ.

කෙසේ වෙතත් තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම හමුදා පහරදීම් වලට ලක්ව ඇති බවට මාධ්‍ය ආයතන හා සංවිධාන පවසයි. අද අලුයම් කාලයේදී ඉතා විශාල වශයෙන් ආරක්ෂක අංශ නිලධාරින් ගාලු මුවදොර දෙසට පැමිණෙන බවට මීට පෙර වාර්තා විය.

විරෝධතාකරුවන් ජනපති කාර්යාලයෙන් පිටවීමට පැය කිහිපයකට පෙර සිය ගනණක් වූ යුද හා ගුවන් හමුදා සහ පොලිස් කමාන්ඩෝ භටයින් ජනාධිපති කාර්යාලය අවට පිහිටුවා තිබූ විරෝධතා කඳවුර වටලා කූඩාරම් ඇද දැමීමට පටන් ගෙන තිබේ.

අද (ජූලි 22) ප.ව 2 ට අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යයාල පරිශ්‍රයෙන් ඉවත්වන බව නිල වශයෙන් දැනුම් දී තිබියදීත් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ධුරයේ වැඩ බාර ගැනීමෙන් පැය 24 ක් ඉක්ම යාමටත් පෙර මෙසේ අරගලකරුවන් වෙත පහරදීම් කොට ඔවුන් අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ ගත් උත්සාහය පිළිබඳව නීතිඥයින් හා සිවිල් ක්‍රියාකාරීන් දැඩි ලෙස ප්‍රශ්න කර ඇත.

රජය පෙරළීමට හෝ රජයේ ගොඩනැඟිලි අල්ලා ගැනීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන්නන්ට එරෙහිව නීතියට අනුව දැඩිව ක්‍රියා කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා ජනපති වීමෙන් අනතුරුව අනතුරු අඟවා තිබුණි.

ගෝඨා ගෝ ගම අරගල භුමියේ පිහිටි තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, අබාධිත රණවිරු කුඩාරම, දෘශ්‍යබාධිතයින්ගේ කුඩාරම ඇතුලු ස්ථාන රැසක් වෙත මේ වන විට ප්‍රහාර එල්ල කොට විනාශ කොට ඇති බවත්, නීතීඥ නුවන් බෝපගේ සහ මීට පෙර මැයි 09 වන දින ප්‍රහාරයෙන් අබාධිත ත්ත්තත්වයට පත්ව සිටින අනුරංග ශාලික ඇතුළු පිරිසක් අමානුෂික ලෙස පහරදී; ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට මරදාන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවට එහි සිට බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ විරෝධතාකරුවෙකු සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට කිසිදු මාධ්‍යවේදියෙකු හට මෙම ප්‍රදේශයට ඇතුල්වීමට අවසර නොදෙන අතර, ඒ සඳහා තමන් වෙත සෘජු නියෝග ලැබී ඇති බවට ආරක්ෂක අංශ මාධ්‍යවේදීන් වෙත දැනුම් දී තිබේ.

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ "සියලු දෙනාගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුත්තන් බැදී සිටිය යුතු බවත්, අනවශ්‍ය ලෙස කුරිරු සහගත ලෙස බලය යොදා ගැනීමෙන් මේ රටට සහ එහි ජාත්‍යන්තර ප්‍රතිරූපයට යහපතක් නොවන බවයි".


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery