බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර කෙරේ..? - බස් සංගමයෙන් දැනුම්දීමක්..!

Sri Lanka Bus Dilum Amunugama fuel crisis Gamunu Vijerathna
By Sewvandhi Mar 31, 2022 02:47 AM GMT
Report

පවතින ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය බරපතළ ගැටලුවකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඉදිරි දින දෙකෙන් පසුව පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවය.

"ඩීසල් අර්බුදය බරපතළ විදියට පෞද්ගලික බස්රථවලට බලපාලා තියෙනවා. ඩීසල් ලැබෙන්නේ කවදාද කියලා අපට යම් ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ඉදිරි දින දෙක තුන තුළ හම්බෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. කෙසේ වෙතත් සඳුදා දිනය වෙන විට බස්රථ සම්පූර්ණ ධාවනය අපිට නවත්වන්න සිදුවේවි.

මොකද අපිට ඩීසල් තියෙන්න ඕනේ බස් ධාවනය කරන්න. ඩීසල් නැතුව වතුරෙන් අපිට බස්රථ ධාවනය කරන්න බෑ. ලංගම යෙන් ඩීසල් ලබාදීම පැහැර හැරලා තියෙනවා. මට දැනුම්දුන්නා විශේෂයෙන්ම යම් යම් බස් නැවතුම්පොළවල උද්ඝෝෂණ කරන්න සැලසුම් කරලා තියෙනවා"

පවතින ඉන්ධන හිඟය ලංකා ගමනාගමන මණ්ඩලය ද බලපා ඇති බව ප්‍රවාහණ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

"පසුගිය දිනවල අපි පෞද්ගලික බස්රථවලට ලංගම හරහා ඉන්ධන සැපයීමක් කරා. අද දිනය වනවිට අපිට පෞද්ගලික බස්රථවලට ඉන්ධන සපයන එක කරන්න බැරි තත්ත්වයට ඇවිත් තියෙනවා. අපිට සැපයෙන ඉන්ධන ප්‍රමාණය ලංගමට සීමා සහිත වෙලා තියෙනවා.

5 වෙනිදා විතර වෙනකල් මේ තත්ත්වය බලපාන්න ඉඩ තියෙනවා. 5 වෙනිදායින් පස්සේ අපිට ඉන්ධන නැව් ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒ ඉන්ධන ලැබුණත් ඔය මිලට ලැබෙන්නේ. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යනවා. සහනයක් කියලා දෙන්න විශේෂ කාරණයක් නැහැ. සහනයක් දුන්නත් ඒක රජයට දරන්න වෙන නිසා."

මේ අතර, හිඟයකින් තොරව අඛණ්ඩව දිවයින පුරා පෙට්‍රල් සැපයීම සිදුකර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ ද රටට අවශ්‍ය පෙට්‍රල් ආනයනය කිරීම සඳහා ගත යුතු මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවය.

කෙසේවෙතත් දිවයින පුරා පවතින ඩීසල් හිඟය ඉදිරි දින දෙක තුන තුළ අවසන් කිරීමට හැකි වනු ඇති බව සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේය. ඉන්දීය ණය ආධාර යටතේ අවශ්‍ය ඩීසල් තොග කඩිනමින් දිවයිනට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now