පවතින ඉන්ධන තොග බෙදාහැරීම ගැන ජනපති ලබාදුන් විශේෂ උපදෙස් - ජනපති මැදුරේ පැවැති විශේෂ සාකච්ඡාවේදී ගත් තීරණ මෙන්න

Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 17, 2022 10:02 AM GMT
Report

දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධනහල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන ප්‍රමාණවත් ඉන්ධන තොග ඇණවුම් කිරීමට පහසුකම් සපයමින් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළයුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් අද (17) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

සැපයුම්කරුවන් සමග දීර්ඝකාලීනව ඉන්ධන ලබාගැනීම සඳහා ගිවිසුම්ගතවීමට ඇති හැකියාව කෙරෙහි ද විශේෂ අවධානය යොමුකර තිබේ. 

ඉන්ධන බෙදාහැරීමේ දී පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව හිමිවෙයි. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පිරවුම්හල් යොදාගනිමින් පෞද්ගලික හා සංචාරක බස්රථ සහ පාසල් වෑන් රථවලට පොලිසියේ අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පැවසීය.

අනිකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා හඳුනාගත් ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීමටත් පිරවුම්හල් වෙත යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සැපයීමටත් තීරණය කෙරිණ. 

අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ආරක්ෂක අංශවලට නියෝග කරනු ලැබීය. පවතින ගෑස් තොග ක්‍රමානුකූලව බෙදාහැරීමටත් ප්‍රමාණවත් ගෑස් තොග කඩිනමින් ඇණවුම් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now