ඉන්ධන පෝලිමක සිට නිවසට ආ පුද්ගලයෙකු ජීවිතක්ෂයට - මෙරටින් ඇසෙන සංවේදී පුවත..(VIDEO)
ඉන්ධන පෝලිමක දින එකහමාරක් පමණ රැඳී සිටි පුද්ගලයෙකු පපුව රිදෙන බව පවසමින් නිවසට පැමිණ රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, බණ්ඩාරගම, වෑවිට ගොරොක්ගස් හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ගයාන් ශසික පෙරේරා නමැති 42 හැවිරිදි එක් දරු පියෙකි.
ඒ මහතා ඉකුත් 18 දා බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ත්‍රීරෝද රථයකින් ගොස් ඇති අතර, නිදිවර්ජිතව පෝලිමේ රැඳී සිට පෙරේදා පස්වරුවේ ඉන්ධන රැගෙන නිවසට පැමිණ පපුව රිදෙන බව පවසා තිබේ.
එහිදී ඔහුව බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී කිසිදු ප්‍රතිකාරයක් නොකර හොරණ මූලික රෝහලට රැගෙන යන ලෙස පැවසීමෙන් අනතුරුව ඔහුව එම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි ඔහුගේ මව පවසයි.
"එයා තෙල් පෝලිමේ හිටියේ, තෙල් ආවෙත් පහුවදා. එයා 2.30ට විතර තමා තෙල් ගහගෙන ගෙදර ආවේ. එද්දි පපුව බදාගෙන ආවේ. පපුව කැක්කුමයි කියලා. අපි විගහට අරන් ගියා බණ්ඩාරවෙල ඒ ත්‍රීවිල් එකේම. ඉස්පිරිතාලේ ඔක්සිජන් නෑ කියලා ඇම්බියුලන්ස් එකක් නෑ කියලා ඔයගොල්ලෝ ත්‍රීවිල් එකෙන්ම හොරණ ට ගෙනියන්න කියලා. ඒ ගෙනියන කොට මඟ දී මේ ත්‍රීවිල් එක හිටලා. ඒ කරලා වෙන ත්‍රීවිල් එකක තමා හොරණට ගෙනිච්චේ. ඒ ගෙනියනකොටත් පුතා නැතිවෙලා කියලා දොස්තරලා කියලා තියෙන්නේ. පැය භාගයකට කලින් ගෙනාවනන් මොකක් හරි කරගන්න තිබුණා හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නේ තෙහෙට්ටුව වැඩිකමට කියලා."
මියගිය පුද්ගලයා ව පරීක්ෂා කළ හොරණ රෝහලේ වෛද්‍යවරියක් පවසා ඇත්තේ, බණ්ඩාරගම දිසා රෝහලෙන් ඔක්සිජන් ලබා දී තිබුණේ නම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව පැවති බවය. ඒ බව හොරණ මූලික රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳගේ සාක්ෂියෙන් ද අනාවරණය වූ බව හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |