ආහාර අර්බුදය මෙරට ජනගහනයෙන් ලක්ෂ 50කට සෘජුවම බලපානවා - අගමැති සිදුකළ විශේෂ හෙළිදරව්ව

Food Shortages Wickremesinghe Ranil Sri Lanka Sri Lanka Food Crisis
By Sithumi Jun 17, 2022 12:50 PM GMT
Report

ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (17) පෙරවරුවේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදී ඔහු ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා ප්‍රකාශ කළේ ඉදිරි කාලයේදී මෙරට ජනගහනයෙන් ලක්ෂ 40ත් 50ත් අතර පිරිසකට මෙම ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කරගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවය.   

විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන්ද අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.  

මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත්, එයට අමාත්‍ය නිමල් සිරිපාල, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයින් ඇතුළත් කරන ලෙසත් අගමැතිවරයා උපදෙස් දුනි.

මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති 02ක් තුළ තමාට අවශ්‍ය බවත්, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙනයාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, පෞද්ගලික අංශයටත් බෙදා භාරදිය යුතු බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 

 මේ සඳහා උපාධිධාරී පත්වීම් ලැබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින උපාධිධාරීන් ද එක්කරගැනීමට යෝජනා විය. ආහාර සුරක්ෂිතතාවයේදී ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයින් සිටින නිවාස සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණි. 

කලාපීය වශයෙන් තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය වන නූතන කෘෂි ක්‍රමවේදයක් සඳහා මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලස්මක අවශ්‍යතාවය ද අවධාරණය කර තිබූ අගමැතිවරයා එය කඩිනමින් සකස් කළයුතු බව පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now