විදුලි බිල විශාල ප්‍රමාණයකින් අඩු කරයි..?නවතම ආරංචිය මෙන්න..

Sri Lanka Politician Sri Lanka Ceylon Electricity Board Kanchana Wijesekera
By Aruna Jan 12, 2024 01:59 AM GMT
Report

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අද (12) මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබාදීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග පවසනවා.

මෙවර ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කරන්නේ විදුලි බිල අඩු කිරීමට බවයි එම මණ්ඩලය කියා සිටින්නේ.

කෙසේ වෙතත් මින් පෙර වාර්තා වූයේ සියයට නවයකින් පමණ විදුලි බිල අඩු කිරීමට හැකියාව පවතින බවයි. අප විදුලි බල මණ්ඩල යෙන් කල විමසීමකදී කියා සිටියේ.

විදුලි බිල අඩු කරන බවට නිශ්චිතව පැවසිය හැකි මුත් ඒ කුමන ප්‍රමාණයකින් ද යන්න මාධ්‍යට පැවසීමට නොහැකි බවයි.

එම ආයතනයේ ඉහල නිලධාරියෙක් පැවසුවේ, මහජන උපයෝගීතා කොමිෂන් සභාවට මෙම යෝජනාව ලබාදීමෙන් අනතුරුව විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ප්‍රධානින් විදුලි බල කෙෂ්ත්‍රයේ ප්‍රවීණයන් සහ විදුලි වෘත්තීය සමිති නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් පෙරේදා (10) විදුලි බල මණ්ඩලයේ පැවැත්විණ.

එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර මේ සදහා පැමිණි පාර්ශ්වයන් යෝජනා කර ඇත්තේ ජනතාවට දැනෙන්න ආකාරයේ විදුලි ගාස්තු අඩුවීමක් අවශ්‍ය බවයි.

මේ අතර, පිරිවැය පියවා ගැනීමට යැයි කියමින් විදුලි ගාස්තුව ඉකුත් වසරේ දී (2023) තුන්වරක් ම සංශෝධනය කරමින් අවසන් වරට අගෝස්තු 09 වැනිදා වැඩි කළ පසු ලංවිම මේ වන විට රුපියල් කෝටි අටදහසකට(8000) වඩා ලාභයක් වාර්තා කර තිබෙනවා.

මණ්ඩලය ලබන රුපියල් කෝටි 1800ක පාඩුව පියවා ගැනීමට යැයි කියමින් ඉකුත් වසරේ අගෝස්තු 09 වැනිදා තුන්වැනි වරටත් විදුලි ගාස්තුව ඉහළ දමනු ලැබුවා.

ඉංජිනේරුවෝ පවසන්නේ, එම ගාස්තු ඉහළ දැමීමෙන් පසුව දිගින් දිගටම වැසි ලැබීම නිසා ජල විදුලිය වැඩිපුර නිපදවා ගැනීමට හැකිවීමත්, සියයට එකසිය හතළිස් හතක පමණ අති විශාල ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දැමීමත් නිසා මණ්ඩලය මේසා විශාල ලාභයක් ලැබූ බවයි.

මේ වන විට දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ජනතාවට විදුලි බිල් ගෙවා දැමීමට නොහැකිවීමත්, මාසයක් ගෙවුණු පසු රතු බිල් නිකුත් කිරීමත් නිසා සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට අසූවකට ම රතුබිල් ලැබෙන බවත් ඔවුහු පවසයි.

මෙතරම් ලාභයක් ලබද්දිත් විදුලි පාරිභෝගිකයින්ගෙන් මාසිකව දැඩි පීඩාකාරී ලෙස විදුලි බිල් අය කරමින් කටයුතු කරන්නේ කාගේ අවශ්‍යතාවයකට ද?

මහජන උපයෝගීතා කොමිසම මේ සම්බන්ධයෙන් බීරි අලින්ට වීනා වයන්නා සේ ඇස්කන් නෑසුනා සේ සිටීමත්, විදුලි බල මණ්ඩලය ජනතාව ගැන සානුකම්පිත නොවීමත් කණගාටුවට කරුණකි.

මේ කියන කාරණා ගැන විදුලි බල අමාත්‍යවරයා නිහඬව සිටිමින් ජනතාවගේ දුක නොදැනෙන්නේ නම් ඔබට ද ඉදිරි මැතිවරණයේදී ජනතාව නිවැරදි තීරණයක් ගනු ඇති.

එබැවින්, විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි අටදහසකට(8000) වඩා ලාභයක් වාර්තා කරමින් සිටිද්දීත්, මේදින වල ජල විදුලි බලයෙන් 75%කට වැඩි විදුලි බල ධාරිතාවක් නිෂ්පාදනය කරමින් රටේ ජාතික විදුලි බල නිෂ්පාදනය ඉහළ ගොස් තිබියදීත්, විදුලි බිල අඩු කරන්නට මාස ගණන් කල් ගනිමින් කටයුතු කරන ඉහළ නිළධාරින් ගැන මහ ජනතාවට ඇත්තේ කළකිරීමකි.

ජනතාවගේ දහඩිය මහන්සිය විදුලි බිලෙන් සූරා කමින් කටයුතු කරන ඉහළ පුටුවල සිටින උදවිය මොහොතක් සිතන්න.

තමන්ද දරුපවුල් රකින්නේ ජනතාව ගෙවන බදු මුදලින් බව. නමුත්,ඉහළ වැටුප් ලබන මැති ඇමතිවරුන් විදුලිබල මණ්ඩලයේ සහ මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් තවමත් තමන්ගේ බඩ වඩා ගැනීමට කටයුතු කිරීම නම් නවතා නැත.

ජනතාවට හෙන වැදුන් ඔවුන්ගේ පඩි වැඩි කරන්නට විරෝධතා කරන උදවියටත් මේ ජනතාවගේ දුක නොතේරෙන්නේ ඔවුන්ද කරන්නේ විවිධ දේශපාලන පක්ෂ වල කොන්ත්‍රාත් බව හදවතට කතා කරමින් සිතන්නට කාලයයි.

එම නිසා විදුලි බිල අඩු කරන්නට කඩිනමින් කටයුතු නොකර විවිධ පාර්ශව වලට බෝලය පාස්කරමින් තව තවත් ප්‍රමාද කරන්නට තටමන්නේ ඇයි දැයි ගගන ප්‍රවෘත්ති අංශයේ අපට ද ප්‍රශ්නාර්ථයකි?.

ඉතා විශාල ගණනකින් විදුලි බිල වැඩි කර සුළු ගණනකින් අඩු කරන්නට කටයුතු කළහොත් එය ජනතාව තව තවත් ගොනාට ඇන්දවීමක් නොවන්නේ ද?

එමනිසා වැඩි කළ විශාල ගණනට සාපේකෂව 50%කින් වත් විදුලි බිල අඩු කරන්නේ නම් එය මෙරට ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු නොවනුමානය.

Sponsored By Sarrita Jewellery


විදුලි බිල විශාල ප්‍රමාණයකින් අඩු කරයි..?නවතම ආරංචිය මෙන්න.. | Electric Bill Less