හම්බන්තොට භූමිකම්පාවේ බලපෑම..
අද (24) හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රෙද්ශයේ රික්ටර් මාපකයේ ඒකක 4.4ක සුළු භූකම්පනයක් අලුයම හටගෙන තිබේ.
මේ හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේය.
එම භූ කම්පනය හම්බන්තොට මිරිජ්ජවිල, ගොඩවාය, ඩිපෝ හංදිය, දෙහිලන්ද සහ අම්බලන්තොට ප්‍රදේශවලට දැනුණු බව එම ප්‍රදේශවල ජනතාව සඳහන් කළේය.
"ඉස්සෙල්ලා ගොරවනවා වගේ සද්දයක් ඇහුණා.මම හිතුවා අහස ගොරවනවා කියලා. නමුත් ඒ එක්කම පොළොව හෙළවෙනවා මට දැනුනා. ඇඳ ගැස්සෙනවා වගේ. සාමාන්‍යයෙන් තත්ත්පර 15ක් වගේ තිබුණා."
"පාන්දර 12.45ට වගේ යාන්තම් ඇඳ හෙළවුණා." "වැඩිවෙලා තිබුණේ නෑ. තත්ත්පර ගාණකින් ඉවරවුණා."
කෙසේ වෙතත් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බවය. මේ පිළිබඳව අදහස් දැක්වු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යා) ආචාර්ය ස්ටෙරින් ප්‍රනාන්දු මහතා,
"අපිට කිසිම වාර්තාවක් වෙලා නෑ කිසිම ඩැමේජ් එකක් වුණා කියලා. නමුත් කම්පනය ලංකාවේ විවිධ ප්‍රදේශවලට දැනිලා තියෙනවා. වැඩියෙන්ම හම්බන්තොට ප්‍රදේශයට දැනිලා තියෙනවා.
බදුල්ල, නුවර හා මාවනැල්ලටත් දැනිලා තියෙනවා. භූ විද්‍යාත්මක දත්ත අනුව විශාල භූ කම්පන බලාපොරොත්තු විය නොහැකි වුවත් සුළු සුළු කම්පන මේ දිනවල සිදුවෙනවා. අපි ඒ අනුව ගණනය කිරීම් සිදුකරමින් වඩාත්ම භූකම්පන සිදුවිය හැකි ස්ථාන හඳුනා ගනිමින් පවතිනවා.
අද දින භූ විද්‍යාඥයින් කණ්ඩායමක් හම්බන්තොට ප්‍රදේශයට යනවා. මේ භූකම්පනයෙන් යම් ආපදාවක් වෙලා ද බලන්න. නමුත් කිසිම සුනාමි තත්ත්වයක් නෑ. ඒ ගැන බිය විය යුතු නෑ." අද දිනයේ වාර්තා වූ මෙම භූ චලනවලට අමතරව ඉකුත් පෙබරවාරි 10 වැනිදා සිට භූ චලන සිදුවීම් රැසක් මෙරටින් වාර්තා වුණි. රටේ කතාබහක් ඇති කළ මාතෘකාවක් බවට පත්වු එම භූ චලන වාර්තා වුණේ මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන, ඔක්කම්පිටිය, ත්‍රිකුණාමලය සහ කිරින්ද ඇතුළු ප්‍රදේශ කිහිපයකිනි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |