පාසල් කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය..

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Apr 21, 2024 05:20 AM GMT
Report

චක්‍රලේඛ උල්ලංඝනය කරන, රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට පහසුකම් සැපයීමේ දී දැඩි ස්ථාවරයක් ගැනීමට

අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වනවා.

ඒ ඒ පාසල්වලට අවශ්‍ය ගුරුවරුන්ට පත්වීම් ලබා දීම, සිසුන්ට පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීම ඇතුළු පහසුකම් අමාත්‍යාංශයෙන් සපයන නමුත් අමාත්‍යාංශය නිකුත් කරන චක්‍රලේඛ කෙරෙහි සැලකිල්ලක් නොදක්වමින් මෙම පාසල් කටයුතු කරන බවට ලැබී තිබෙන පැමිණිලි සලකමින් ඉහත පියවර ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

යම් පාසලක සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වන්නේ නම්, එහි සේවය කරන රජයේ වැටුප් ලබන ගුරුවරුන් ද ක්‍රමයෙන් අඩු කළ යුතු බවට වන චක්‍රලේඛයක් පවතින නමුත් ඇතැම් පාසල් ඒ අනුව කටයුතු නොකරමින් සියලුම ගුරුවරුන් තවදුරටත් රඳවාගෙන සිටින බවට ද අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවයි පැවසෙන්නේ.

හම්බන්තොට කලාපයේ මෙවැනි පාසලක කලින් සිටි පන්සියයක් පමණ වන ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට දෙසියයක් දක්වා අඩු වී තිබිය දී අතිරික්ත ගුරුවරුන් ඉවත් කිරීම වෙනුවට තවදුරටත් ඔවුන් රඳවා ‍ගෙන සිටීම අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමු වී තිබේ.

පවතින තත්ත්වය අනුව ගුරුවරු දොළොස් දෙනෙක් අතිරික්තව සිටි අතර, මෙම පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීමේ දී රජයේ පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය නොකෙරෙන හෙයින් ඔවුන් රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා ද යොදවා ගත නොහැකි බවයි පැවසෙන්නේ.

එහෙත් මෙම අතිරික්ත ගුරුවරුන් රජයේ පාසල්වලට අනුයුක්ත කරන ලෙසට අමාත්‍යාංශයට දිගින් දිගට ම බලපෑම් එල්ල වෙමින් පවතී.

මෙම පෞද්ගලික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මුදල් අය නොකළ යුතු බවට වන චක්‍රලේඛය ද බරපතළ ලෙස උල්ලංඝනය කිරීම සාමාන්‍යකරණය වී ඇත.

ඇතැම් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී රුපියල් මිලියනයට ආසන්න මුදලක් අය කෙරෙන බවට ද අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බවත්, මේ පිළිබඳව අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ.

පාසල්වල පෙර වසරේ ආදායම් වියදම් වාර්තා ජනවාරි මස 31 වැනිදාට පෙර අමාත්‍යාංශයට එවිය යුතු වන නමුත් පාසල් අනූ පහෙන් මේ දක්වා ආදායම් වියදම් වාර්තා එවා ඇත්තේ පාසල් පහක් පමණක් වීම වන අතර, අමාත්‍යාංශය දැඩි සැලකිල්ලට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

...........................................................................

May you Like