1 ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනීමේදී විශේෂ කෝටාවක්..
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සියයට තුනක කෝටාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මීට අදාළ චක්‍රලේඛය ලබන මැයි මාසයේ නිකුත් කිරීමට නියමිත බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ.
මැයි මාසයේ චක්‍රලේඛය නිකුත් කෙරෙන්නේ 2024 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහාය.
මෙවැනි දරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහය මත ක්‍රියාත්මක කෙරේ.
උග්‍ර ආබාධිත දරුවන්ට වයස අවුරුදු හතරේ සිට අධ්‍යාපනය ලබා දී අවුරුදු පහ සම්පූර්ණ වනවිට පාසල්වලට යොමු කිරිමටද අමාත්‍යාංශය කටයුතු කරයි.
සාමාන්‍ය මට්ටමේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් විශේෂ අධ්‍යාපන ඒකකවලට යොමු කෙරෙන අතර සියයට තුනේ කෝටාව හිමි වන්නේ සාමාන්‍ය සිසුන් සමග පන්ති කාමරයේ අධ්‍යාපනය ලැබීය හැකි දරුවන් වෙනුවෙනි.
සාමාන්‍යයෙන් වසරකට දරුවන් හයදහසත් අටදහස් පන්සියයත් අතර පිරිසක් විශේෂ අවශ්‍යතා ගණයට අයත් වෙති.
2016 වසරේ කර තිබෙන සංගණනයට අනුව විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ දහනව දහසකට අධික පිරිසක් මෙරට සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |