ලංකාවට මූල්‍ය ආධාර ලබාදීමට ලෝක බැංකුවෙන් සැලසුම් - අද සාකච්ඡාවේදී ලබාගත් තීරණ
ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 17ක් පවතින අතර පවතින අසීරු අවස්ථාවට මුහුණ දීම සඳහා මූල්‍ය ආධාර දිය හැකි අයුරින් එම ව්‍යාපෘති ප්‍රතිසැලසුම් කරන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් හදාද් සර්වෝස් (Faris Hadad-Zervos) මහතා පවසා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණීමෙන් පසු ලෝක බැංකුවේ සහාය තවදුරටත් ලබාදීමට අපේක්ෂා කරන බව ද සර්වෝස් මහතා ප්‍රකාශ කර තිබුණා. ලෝක බැංකු නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (29) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කළ බව සඳහන්.
රට තුළ දැනට පවතින තත්ත්වය පැහැදිලි කළ ජනාධිපතිවරයා ලෝක බැංකුවෙන් වෙන් කෙරෙන ණය ආධාර බැංකු සහ මූල්‍ය ආයතන වෙත ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා. කෘෂිකර්ම, පශු සම්පත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා ලබාගත හැකි ආකාරයට අඩු පොළී අනුපාතයක් මත එම ණය නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ.
ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළා. බදු වැඩිකිරීම, ඩීසල්, භූමිතෙල් සහනාධාර ඉවත් කිරීම ධීවර ඇතුළු පාර්ශ්ව රැසකට තදින් බලපායි. එමෙන්ම අවදානම් තත්ත්වයේ පසුවන සෙසු කණ්ඩායම් කෙරෙහි ද රජය සැලකිලිමත් වනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණීමේ දී මේ කරුණු පිළිබඳ සලකා බැලීමට සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |