ලංකාව පිහිටි ඉන්දු - ඔස්ට්‍රේලියානු තැටියේ සිදුවන භූකම්පන ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..!

By Sewvandhi Mar 19, 2023 08:10 AM GMT
Report

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරන්නේ, මේ වනවිට සිදුව ඇති භූකම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවයි. එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු - ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර භූකම්පන රැසක් සිදුව ඇති බවය.

"ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන 4ම මේ භූකම්පනය වාර්තා වුණත් අප වෙත කිසිදු ආකාරයක පැමිණිල්ලක් මහජනතාව විසින් කළේ නෑ. මේ භූකම්පන අධ්‍යනය කිරීමේ දී අපට සඳහන් කරන්න පුළුවන් කාරය තමයි ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු - ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර මායිම ඔස්සේ රික්ටර් මාපංක 4 - 5 භූකම්පන රැසක් සිදුවුණා. ඒ භූකම්පනවලදී නිකුත් වු ශක්තියෙහි යම් නිදහස් වීමක් ලංකාව හරහා සිදුවුවා ද කියන කාරණය සම්බන්ධයෙන් අපි අවදානය යොමුකරලා තියෙනවා. යම් හානියක් සිදුවෙයි කියලා අනියත බියක් ඇති කරගත යුතු නෑ."

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්ද, පලටුපාන වෙරළ තීරයෙන් සුළු භූචලන දෙකක් වාර්තා වුණි. ත්‍රිකුණාමලය,තිඹිරිවැව, ගෝමරන්කඩවල ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ භූචලනයක් සිදුව තිබුණි. රික්ටර් මාපකයේ 3ක අගය ගත් එය සුළු භූචලනක් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේය. කෙසේවෙතත් ගෝමරන්කඩවල ප්‍රදේශවාසීන්ට එම භූචනය දැනී තිබුණි.

මේ අතර ඊයේ පස්වරු 06.46 ට තවත් භූ චලනයක් සිදුව තිබුණේ කිරින්ද - පලටුපාන වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයෙනි. එහි අගය දැක්වුණේ රික්ටර් මාපාංක 2.6 ක් ලෙසින්ය. එම භූචලන ද්විත්වයම පොළොව මතු පිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී ඇති අතර එය මෙරට භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව තිබුණි.

භූචලන පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙලෙස අදහස් දැක්වීය.

"මෙච්චර කාලයකට සිදුවුණ කම්පනවල රික්ටර් පරිමාණය බැලුවොත් 4ට වඩා අඩු කම්පන තමා පහුගිය අවුරුදු 30 - 40 සිදුවෙලා තියෙන්නේ. ඒ නිසා අපිට විශාල කම්පන බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් 2, 2.5, 3, 3.5 වගේ කම්පන ඉදිරියටත් සිද්ධවෙන්න පුළුවන්."

ඊයේ සහ අද දිනයේ වාර්තා වූ මෙම භූ චලනවලට අමතරව ඉකුත් පෙබරවාරි 10 වැනිදා සිට භූ චලන සිදුවීම් රැසක් මෙරටින් වාර්තා වුණි. රටේ කතාබහක් ඇති කළ මාතෘකාවක් බවට පත්වු එම භූ චලන වාර්තා වුණේ මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකිනි.