අද මෙරට සෙලවූ භූ කම්පනය ගැන අනාවරණයක්..

Sri Lanka Earthquake
By Sewvandhi Feb 10, 2023 02:42 PM GMT
Report

දහවල් මොනරාගල, බුත්තල සහ වැල්ලවාය ඇතුළු ප්‍රදේශ කිහිපයක රික්ටර් මාපාංක 3.5 ක සහ 3ක පමණ භූ චලන දෙකක් අද (10) සිදුව තිබුණා.

බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශවල භූ චලන නිරන්තරයෙන් සිදුවන අතර අද ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගතයුතු නැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ.

මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක අද දහවල් 12.11ට පමණ එලෙස භූ චලනයක් ඇතිවුණා. ඉන් විනාඩි තුනකට පසුව එනම් දහවල් 12.14ට ද තවත් භූ චලනයක් සිදුවූ බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේ.

රික්ටර් මාපාංක 3.5ක් ලෙස සටහන් වු අතර බුත්තල, උනාවටුන බෞද්ධාලෝක මහ පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේගේ කොටසක් මෙම භූ චලනය හේතුවෙන් කඩා වැටී තිබුණා.

මෙම භූ චලන පිළිබඳ අනියත බියක් ඇති කරගතයුතු නොවන බව කෙසේවෙතත් භූ විද්‍යාඥයන් ජනතාවට දැනුම් දුන්නා. බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශයේ පිහිටීම අනුව මෙවැනි භූ චලන සිදුවිය හැකි බවත් දිවයිනේ වැඩිම භූ චලන සිදුවන්නේ එම ප්‍රදේශ ආශ්‍රිතව බවත් ඔවුන් පෙන්වා දෙන අතර මින් පෙර ද අවස්ථා රැසකදීම මෙවැනි සුළු භූ චලන එම ප්‍රදේශ ආශ්‍රිතව වාර්තා වී තිබෙනවා.    


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now