දුම්රිය මගීන්ට හදිසි දැනුම්දීමක්..දුම්රිය ධාවනයට දැඩි බාධා..

Sri Lanka Railways Train Crash Department of Railways Railways
By Aruna Mar 20, 2024 01:23 AM GMT
Report

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ඊයේ (19) රාත්‍රී 7.15 පමණ ධාවන වූ සීඝ්‍රගාමී දුම්රිය කොටුව හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්ව ඇති බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී ඇති අතර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් සිටින බවයි.

දුම්රිය පීලිපැනීම හේතුවෙන් ඊයේ රාත්‍රී ගාල්ල තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 4ක් අවලංගු කර තිබුණා.

අද (20) උදෑසන කොළඹ දක්වා ධාවන වන දුම්රියන් මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන අතර කොළඹ සිට ධාවන වන දුම්රියන් ප්‍රමාද වී ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේනතුව සඳහන් කළේ.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, උදෑසන 7.00 පමණ වන විට එක් දුම්රිය මාර්ගයක ධාවන කටයුතු සිදුකිරීමට හැකි වනු ඇති බවයි. .