දුම්රිය මඟීන්ට විශේෂ දැනුම්දීමක්..දුම්රිය ධාවනයත් ප්රමාදයි..
අද (19) අලුයම හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්රී තැපැල් දුම්රිය හපුතලේ දක්වා පැමිණ නතර කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර, දුම්රිය මාර්ගය අවහිර වීම හේතුවෙන් උඩරට මැණිකේ දුම්රිය සහ පොඩි මැණිකේ දුම්රිය අද දිනයේ ප්රමාද වී ධාවනය කිරීමට සිදුවන බවයි, අප කළ විමසීමක දී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව පෙරවරු 05.45ට බදුල්ලේ සිට කොටුව දක්වා ධාවනය වීමට නියමිත උඩරට මැණිකේ දුම්රිය මේ වන තෙක් පිටත්වීම ආරම්භ කර නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පෙරවරු 08.30ට කොළඹ බලා ධාවනය වීමට නියමිත පොඩි මැණිකේ දුම්රිය ද පැය කිහිපයක් ප්රමාද වන බව පැවසේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට පස්කන්ද නායයෑමෙන් අවහිර වූ දුම්රිය මාර්ගයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බවයි.