ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට - හෙට පාර්ලිමේන්තුවේ සිදුවන සුවිශේෂී දේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී හෙට (21) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිතය.
ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 10 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේද ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම මන්ත්‍රීධූරයෙන් පසුගිය 9 වැනිදා ඉල්ලා අස්විය. ඔහු එලෙස ඉවත්වීමෙන් පුරප්පාඩුවූ එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ධම්මික පෙරේරා මහතා මෙසේ පත් කෙරිණ.
ධම්මික පෙරේරා මහතා මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර ආයතන රැසක හිමිකාරීත්වය දැරූ දිවයිනේ නමගිය ප්‍රකට ව්‍යාපාරිකයෙකි. මේ අතර පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) දවල් 12.00 ට පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට උදේ 10.00ට රැස්වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |