දර්ශන් මිය යාමට පෙර අවසන් මොහොතේ සිදුවූ සංවේදී සිදුවීම හෙළිකරයි..(PHOTOS)

Tamil Cinema Sri Lanka
By Aruna Oct 10, 2022 04:46 AM GMT
Report

දර්ශන් ධර්මරාජ්... ඒ නිහතමානී සම්මානනීය කලාකරුවා සමුගෙන ඊයේ දින හරියටම සතියක්.

පසුගිය සතිය පුරාවටම කලා ලෝකයේ ඇහුණු කතා තුළ ප්‍රධාන මාතෘකාව වුනේ දර්ශන් ධර්මරාජ්.

ඔහු ඒ තරමටම අන්‍යන්ට හිතෛශී කලාකරුවෙක්.

ඔහු රංගනයෙන් දායක වුණු ප්‍රාණ චිත්‍රපටය පසුගිය 7 වැනිදා සිට තිරගත වීම ඇරබුනා.

දර්ශන් නික්ම ගිය පසුව ඔහු ගැන ඇහෙන බොහෝ කතා අතර දර්ශන්ගේ හිතවත් සිනමා අධ්‍යක්ෂවරයෙක් ඔහු ගැන පසුගියදා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් පළ කරලා තිබුණා. "ඒ අනූව දශකයේ අගභාගයි.

ජනවාර්ගික අර්බුධය උග්‍රව පැවති ඒ කාලයේ සැවොම දිවි ගෙවූයේ තිගැස්මෙනි.

කොයි මොහොතක හෝ බෝම්බයක් දෙකක් පුපුරන්නට ඉඩ ඇතිය.

මෙවන් සමයක රක්වාන සිට කොළඹ පැමිණි තරුණයෙකි.

වයස අවුරුදු විස්සක්වත් නොවූ හෙතෙම නමින් ලිංගනාදන් ධර්මරාජ් විය.

හම ඉතා කළු සිංහලයෙකු දිහා පවා සැකයෙන් බැලූ වකවානුවක දමිළ ධර්මරාජ් කොළඹට ආ ගමන ගිනි ගොඩකට පැනීම හා සමානය.

ඔහුගේ ස්වරූපය සහ ජාතිය නිසා නිසැකවම තමන් එල්ටීටීඊ කාරයෙකු බව ආරක්ෂක අංශ හිතන බැව් ඔහු දැනන් සිටියේය.

එහෙත් ධර්මරාජ් තුළ තිබුණේ අහිංසක සිහිනයකි. ඒ නළුවෙකු වීමය.

තකහනියක් කොළඹ ආවද කලා ලොවේ කිසිඅයෙකු තමන් හඳුනන්නේ නැති බවද ධර්මරාජ දැනන් සිටියේය.

එහෙත් ඔහු උත්සාහය අත්හැරියේ නැත. කොළඹ ගෙන්දගම් පොළොවට පය තබා ඔහු වටපිට බලා නලලේ ඇති දහඩිය අතින් පිසදා දැමුවේය.

නළුවකු වීමට අවශ්‍ය නම් කුමන බාධක මධ්‍යයේ වුවද මෙහි රැඳී සිටිය යුතු බවට ඔහුට ඒත්තු ගැන්විණ.

ස්ථිර රැකියාවන් කිහිපයක් කළද ඔහුට අවශ්‍ය විවේකය නොලැබෙන බව දැනගත් ඒවායින් ඉවත් විය.

ඒ අතරතුරදී ඔහු නළුවෙකු වීමේ සිහිනය යථාර්ථයක් කරගැනීමටද අවස්ථා සෙවුවේයේය.

පිටකොටුවෙ පේමන්ට් එක මත වාඩිවී එතැනින් ගමන් කරනා මිනිසුන් දිහා බලා සිටියේය. ඉන් ඇතැමෙක් සිනාසෙයි.

තවත් අයෙකු දුකින් මුහුණ අකුලගෙන ගමන් කරයි. වැඩි දෙනෙකුගේ සිත් තුළ ඇත්තේ අවිනිශ්චිතතාවයකි.

ඒ මුහුණුවරයන් හොඳින් මතක තබාගැනීමටද ඔහු අමතක නොකළේය.

ඒ හැඟීම් කණ්ණාඩිය ඉදිරියේ රඟපෑවේය. මේ අතරතුර දී ජීවත්වීම සඳහා මුට්ට කර ගැසුවේය.

පිටේ දියපට්ටා ආවද ඒවා ඔහු සත පහකටවත් ගණන් ගත්තේ නැත.

ජීවතයට වාසනාව උදාකරන්නේ අහඹු හමුවීම්ය. දර්ශන්ටද එසේම විය.

ඒ පුද්ගලයා සිඩ්නි චන්ද්‍රසේකරය. තමන් ඉදිරියේ ඉන්න මේ කළු හීන්දෑරි තැනැත්තා හොඳ නළුවෙකු බව වටහා ගගත් ඔහු A නයින් ටෙලි සිතුවමට ඔහුව ගත්තේය.

එකල A නයින් මාර්ගයේ ගමන් කළ බොහෝ දෙනකුගේ ජීවිතය අවිනිශ්චිත වුවද මේ A නයින් මාර්ගය එසේ නොවිණ.

දර්ශන්ට එය දියුණුවේ මාර්ගය විය. එල්. ධර්මරාජ් දර්ශන් ධර්මරාජ් ලෙස බෞතිස්මය ලැබිණ.

A නයින් නාට්‍යයෙන් පසු වැල නොකැඩී ටෙලි නිර්මාණ ලැබේ යැයි සිතුවත් එය එසේ නොවීය.

වරින් වර ලැබෙන නිර්මාණවලට දායකත්වය දුන්නද ජනප්‍රියත්වය කරා රැගෙන යාමට ඒවා සමත්නොවිණ.

ඔහු රක්වානේ තම ගමට ආවේය.

චිත්‍ර ඇඳීමේ ඇති හැකියාවෙන් ප්‍රයෝජන ගත්තේය. කෙටි කලකින් දෛවයේ රස්තියාදුව නිමවිය.

උත්සහය උනන්දුව කැපවීම ඇති මේ තරුණයාගේ වෙනස් හැඩය දුටු නිර්මාණකරුවෝ ඔහුට තම නිර්මාණ සඳහා ආරාධනා කිරීමට පටන් ගත්තේය.

දර්ශන්ද ලැබෙණ චරිතය තුළට කිඳාබැස රඟපාන්නට රඟපාන්නට පටන් ගත්තේය.

කෙටියෙන් කිව්වොත් චරිතය තුළ ජීවත් විය. එතෙක් මෙරට කලා ක්ෂේත්‍රය තුළ බලවත් අඩුවක්ව පැවති දමිළ නළුවෙකුගේ හිදැස දර්ශන් ක්‍රම ක්‍රමයෙන් පුරවන්නට පටන් ගත්තේය.

ඇතැම් නිර්මාණ සඳහා ඔහු නොමැතිවීනම් නම් වෙන විකල්පයක්ද නොවීය.

අද ඔහු නැති තැන නිර්මාණකරුවෝ එකී ප්‍රශ්නයට උග්‍රව මුහුණ පා සිටී.

පුංචි තිරය පමණක් නොව සිනමාවට ජය ගත් දර්ශන් ධර්මරාජ් තමන්ගේ නාමීය සලකුණ තැබූවේ අසමසම ප්‍රතිභාව විදහා දක්වමිනි.

දමිළ නළු හිස් තැන අපූරුවට පුරවා ඒ මත තම රුව සිතුවම් කොට පැත්තකටවී අප දෙස බලා ඔහු සිනාසුනා පමණි.

කිසියම්වූ සොරෙකු ඔහුව රැගෙන ගියා හා සමානය. දිනය පසුගිය ඔක්තෝම්බර් පළමු වැනිදාය.

විවේකයක් ඇති දිනෙක දර්ශන් මරදානෙ තම නිවෙස ඉදිරිය පිරිසිදු කිරිම සුලබ දසුනක් විය. ඉතින් එදා එසේමය.

දර්ශන්ගේ අසල්වාසියකු වූ චමින්ද සුපුරුදු පරිදි ඔහුව සොයාගෙන ඇවිත් සිටියේය. ඒ පෙරදිනෙක පොඩි අසනීපයක් ගැන කියූ හෙයින්‍ ය.

කෙණ්ඩ පොඩ්ඩක් පෙරළිලා වගේ මචං.. දර්ශන් දකුණු පාදය පෙන්වා චමින්දට කීවේය.

සාමාන්‍ය සරල ලෙඩක් යැයි සිතා දෙදෙනාම ඉන්පසුව එය අමතක කර දැමීය.

හවස් වෙද්දී යම් යම් රෝගාබාධ ඇති වුණත් බෙහෙත් ටිකක් ගැනීමට දර්ශන් අදිමදි කළේය.

එහෙත් අසල්වාසී චමින්දගේ උවමනාව මත මරදානේ දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ටිකක් ගන්න ගිය දර්ශන් එය රැගෙන නිවසට ආවේ හෙට දිනයේ රාජකාරි පිළිබඳ සිහිපත් කරමින්ය.

එහෙත් කොළඹ අහස යට ගෙවෙනා එදින රාත්‍රිය සුන්දර එකක් වූයේ නැත.

එදා උදෑසන දර්ශන් දෙවියන් ළඟ තිබූ මල්ද එතැනින් ඉවත් නොකළ නිසා පරවී තිබිණ.

මේ ගෙවෙන්නේ තමන්ගේ අවසාන පැය කිහිපය බව ඔහුට දැනුණේවත් නැත.

එහෙත් අතපය හතරේ වෙනසක් දැනෙන බැවින් දර්ශන් තම අසල්වැසියා ඇමතීය.

වහාම ක්‍රියාත්මක වුණ ඔහු දර්ශන්ව මහ රෝහල වෙත ගෙන ගියේය. ඒ අතරතුරදිත් දර්ශන්ගේ කතබහද එලෙසමය.

එහෙත් වේදනාව එන්න එන්න වැඩිවිය. සිය දියණියගේ නමද දෙතුන් වරක් ඔහු කීවේය.

යුහුසුළුව මහ රෝහල වෙත රැගෙන ගිය දර්ශන්ව ඉතා ඉක්මනින් ට්‍රොලියක් මත තැබුවේය.

ගතවූයේ තත්පර කිහිපයකි. මහා රූස්ස ගසක් බිමට පාත් වූවා සේය. ඔහුගේ අවසන් හුස්ම ඒ වනවිටත් වාතලයට මුසුවී තිබිණ.

ඒ බව වෛද්‍යවරයාට දැනුන නිසා චමින්දට කීවේය. පිස්සුද මේ දැන් හොඳට කතා කර කර හිටපු මනුස්සයානෙ.

කොහොමද එහෙම වෙන්නෙ. පොඩ්ඩක් බලන්න ඩොක්ටර්. මෙයාව එහෙම මැරෙන්න දෙන්න බෑ,කියමින් චමින්ද රෝහල දෙවනත් කළේය.

එහෙත් මේ දමිළ දේහදාරියා සදහටම සමුගෙන ගොස් තිබිණ. ඉතා කෙටි කලක් තුළ කලා ලොව තුළ නමක් රැන්දූ දර්ශන් ධර්මරාජ් හොඳම නළුවා ලෙස අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍ර විය.

කොතරම් දුෂ්ට චරිත රඟපෑවත් කිසිවකුගෙන් බැනුමක්වත් ඇසුවේ නැත. ඒ අතින් ඔහු ඉතා වාසනාවන්තය.

මතකයන් ඉතිරි කොට යන්නට ගිය දර්ශන් අපේ ජීවිතයට හොඳ පාඩමක් කියා දෙන්නේය.

අවස්ථා ගණනාවකදී බිරිය සහ දියණිය කොළඹ ගෙන්වාගැනීමට අවස්ථා උදා වුණත් දර්ශන ඊට කැමති වී නැත.

ඒ මේ ගෙන්දගම් පොළොව ඔවුනට නපුරු තැනක් වේවි කියා සිතාද නැත්නම් තමන්ගේ නිදහස් ජීවිතය සීමාවෙයි කියා සිතුණු නිසාද යන්න දන්නේ දර්ශන් පමණි.

කෙසේ වෙතත් මගේ විශ්වාසයට අනුව නම් ඔහුගේ බිරිය සහ දියණිය කොළඹ සිටියා නම් දර්ශන් තව කාලයක් ජීවත් වීමට ඉඩ තිබිණ.

තම ආදරණීය දියණියගේ උවන නිතර දකින නිසා තමන් ගැන හිතන්නටද පෙළඹෙනු ඇත.

කොතරම් කැපවීම් කළද ඒවා ගැනම පමණක් නොව තමන් ගැනද හිතන්නට කියා ලොකු පණිවුඩයක් දර්ශන් ඔබ අපට ලබාදුන්නේය. ඔබ සදහටම නික්මී සත් දිනක්ය.

එහෙත් හත්සියවසක් ගෙවුණද ඔබේ මතකයන් කෙදිනකවත් නොනැසෙනු ඇත්තේය."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery