ස්වාධීන වූ නිදහස් පක්ෂය ජනපති හමුවෙයි - ස්වාධීන ලැයිස්තුවෙන් තුනක් ගැළවෙයි.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම් 3 ක් ස්වාධීන වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සංයුතිය අද සැළකිය යුතු ලෙස වෙනස් වුණා.
කෙසේ වෙතත් ස්වාධීන වූ බවට පැවසූ මන්ත්‍රීවරු තුන්දෙනෙකු පසුව ප්‍රකාශ කර සිටියේ තමන් එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය තවමත් පවතින්නේ ආණ්ඩුව සතුවයි. වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පැවති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 159 ක්. කථානායකවරයාද ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බැවින් එම සංඛ්‍යාව පසුව සැළකුණේ 158ක් ලෙසින්.
ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුලු පක්ෂ කිහිපයක නියෝජනයන් ඇතුළත්. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරු 16 දෙනෙකු ස්වාධීන වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ දැනුම් දුන්නා.
කෙසේ වෙතත් එම මන්ත්‍රිවරුන් පිරිස සමඟ ස්වාධීන වීමට තීරණය කර සිටි ගයාෂාන් නවනන්ද මන්ත්‍රීවරයා පසුව ප්‍රකාශ කළේ තමන් ස්වාධීන නොවන බවයි. ඒ අනුව ස්වාධීන වන බවට සඳහන් කළ මන්ත්‍රිවරුන් 16 දෙනා 15 ක් දක්වා අඩුවනවා.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ස්වාධීන වන බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දුන්නා. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 11 දෙනෙකු ස්වාධීන වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද දැනුම් දුන්නේ.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ද සඳහන් කළේ තමන්ද තවම ස්වාධීන වීමට තීරණයක් ගෙන නොමැති බවයි. ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද මේ වනවිට ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එස්.එම්.එම්. මුෂාරෆ් ද ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස පෙනී සිටින බව සඳහන් කළා.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව මේ වනවිට 118 ක් වන අතර, ස්වාධීන වීමට තීරණය කළ මන්ත්‍රී සංඛ්‍යාව 41 ක්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |