භයානක තත්වයක්.. කොවිඩ් තෙවන රැල්ලක් ගැන අනතුරු ඇගවීමක්
ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ මේ වන විට මිලියන 16ක් පමණ එක එන්නතක් හෝ ලබාගෙන ඇති අතර මිලියන 14ක් පමණ එන්නත් දෙකම ලබාගෙන තිබෙනවා.
කාලයත් සමඟ එන්නත්වල ප්‍රතිශක්තිය අඩුවන බැවින් දෙවන මාත්‍රාව ගෙන මාස 03කට පසුව බූස්ටර් මාත්‍රාව ගැනීමෙන් ඉදිරියේදී තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමෙන් මිදී රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට ඉවහල් වනු ඇති බවයි විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. අද (13) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීයි මෙම කරුණු අනාවරණය කෙරුණා.
බූස්ටර් මාත්‍රාව ගැනීමට ඉදිරිපත් වන පිරිසේ අඩුවීමක් දැන් දක්නට ලැබෙන අතර එන්නත ගැන පැතිර යන කටකථාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඔවුන් සඳහන් කරනවා. එන්නත ගැනීමෙන් දියවැඩියාව, ආතරයිටීස්, ලිංගික බෙලහීනතාව වැනි අබාධවලට ගොදුරුවන බවට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රවෘත්ති සහ පැතිර යන කටකතාවල කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ.
විශේෂයෙන් එන්නත නොගත් පිරීස මෙවැනි කට කතා පතුරුවන බවයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ. එක්සත් රාජධානියේ කරන ලද පරීක්ෂණයකට අනුව දෙවන එන්නත ගත් පසු රෝගය වැළඳී රෝහල් ගතනොවීමේ ආරක්ෂණය 100%ක් වන අතර ඉන් මාස දෙකකට පසුව 70% දක්වා අඩුව ගොස් මාස 06 කට පසුව 50% දක්වා අඩුවන බව තහවුරු වී තිබෙනවා.
බූස්ටර් එන්නත ගෙන සති දෙකෙන් 90% දක්වා ඉහළ යන එම ආරක්ෂණ මට්ටම මාස තුනකට පසුව ද නොවෙනස්ව පවතිනවා. කොවිඩ් 19 වසංගතයෙන් මිදීමේ විකල්පයක් ලෙස බූස්ටර් එන්නත ගැනීමේ හැකියාව තිබියදීත් මේ වන විට බූස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ මිලියන 4.6ක් පමණයි.
මිලියන 10ක පමණ මහජනතාව බූස්ටර් එන්නත මෙතෙක් ලබා ගෙන නැහැ. ප්‍රමාණවත් එන්නත් ලැබී තිබියදීත් අවදානමක් නොගෙන එන්නත ගැනීමෙන් නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා රට සාමාන්‍යකරණයට පත් කර ගත හැකි බවයි ජාතික රෝහලේ ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ.
ඇමරිකාව වැනි දියුණු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉදිරියෙන් සිටින අතර කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය යන සංඛ්‍යාව පළමු එන්නත් දෙක ගැනීමෙන් 50% කින් අඩුවන බවත් බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් කොවිඩ් ආසාදනයෙන් රෝහල් ගතවන සංඛ්‍යාව 90% කින් අඩුවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිකරණ විද්‍යා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පෙන්වා දෙනවා.
ලෝක ජනගහනයෙන් බිලියන 10කට පමණ කොවිඩ් එන්නත දී ඇති බවත්, 2020 හා 2021 වසර හා සසඳන විට කොවිඩ් ආසාදිත වී රෝහල් ගතවන සහ මිය යන පිරිසෙන් වැඩි දෙනා එන්නත් නොගත් අය බව මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළා. කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙලේ පළමු සහ දෙවෙනි මාත්‍රාව ගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් දක්නට ලැබුණ අතර රෝගීන් වාර්තාවීමේ පැහැදිළි අඩුවීමක් දක්නට ලැබුණා.
පසුගිය සති දෙක තුනක පමණ කාලය තුළ වාර්තාවන රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, ශ්‍රී ලංකාවේ විවිධ ඔමික්‍රෝන් ප්‍රබේද වාර්තාවන බැවින් ඉදිරියේදී තව කොවිඩ් රැල්ලක් ඇතිවීමට ඉඩ ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා
අත් සේදීම, මුව ආවරණ පැළඳීම, ජනතාව ගැවසෙන ස්ථානවල රැඳී සිටීමෙන් වැළකීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හා එන්නත්කරණයට යොමු වීම නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි සාර්ථක විසඳුම බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා.
කාලයත් සමග එන්නත්වල ප්‍රතිශක්තිය අඩුවන නිසා බූස්ටර් මාත්‍රාව ගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් රෝගය වැළඳෙන සංඛ්‍යාව අඩුවන අතර රෝගය වැළඳුනත් මියයන ප්‍රමාණය අඩුවන බවයි මෙහිදී වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |