මෙරට තුල කොවිඩ් අනු ප්‍රභේදයක සීග්‍ර පැතිර යාමක් - දැඩි අවධානම් තත්ත්වයක්

COVID-19 Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Aug 06, 2022 09:58 AM GMT
Report

කොළඹ සහ ඒ අවට කොරෝනා අනු ප්‍රභේදයක් සීග්‍රයෙන් පැතිර යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා. එම අංශයේ ප්‍රධානී මහාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේ කොරෝනා රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂනයට ලක් කිරීමේදී ඉන් සාම්පල විස්සක තිබී මෙම අනු ප්‍රභේදය හමුවී ඇති බවයි.

එය ඔමික්‍රොන් බී ඒ පහ කොරෝනා අනු ප්‍රභේදය වන අතර, මෙම වෛරසය සීග්‍රයෙන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. කොරෝනා රෝගීන්ගේ ජෛව පටල සාම්පලවල තවත් විශ්ලේෂණයක් අද සිදු කෙරෙන අතර, වෛරසය පිළිබඳව නවතම තොරතුරු ඉන් සොයාගත හැකි බවයි මහාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ලෝකය පුරා කොරෝනා රෝගය යළි සීග්‍රයෙන් පැතිර යන බැවින් ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවත්, මහජනතාව එක්රැස්වන අවස්ථාවලදී මුව ආවරණ පැළඳීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ. මේ වනවිට මෙරටින් හමුවී ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හයලක්ෂ 66,413 ක් වන අතර, ඊයේ දිනයේදී නව ආසාදිතයන් 181 ක් අලුතින් හඳුනා ගැනුනා. මේ දක්වා කොරෝනා මරණ 16,578 ක් වාර්තාවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now