Covid මරණ ගැන විශේෂ අනාවරණයක් - අදත් මරණ ඉහළ අගයක

vaccination Covid19 delta Keheliya Rambukwella omicron
By Sewvandhi Feb 13, 2022 01:19 PM GMT
Report

කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගෙන් බහුතරයක් බුස්ටර් එන්නත ලබානොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ,

පසුගිය දින කිහිපය තුළ සිදුව ඇති කොවිඩ් මරණවලින් සියයට 99ක් බුස්ටර් එන්නත් ලබානොගත් පුද්ගලයින් බවය. මේ වන විට එන්නත් මාත්‍රා මිලියන් 8ක් ශ්‍රි ලංකාව සතුව පවතින බවද බිබිල රෝහලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"අපි පළමු දෙවැනි එන්නත අතින් ලෝකයේ පළමු වැනි රටවල් තුන හතර ඇතුළේ ඉන්නේ. ඒ කියන්නේ 102%ක් පළමු එකත්, 9%ක් දෙවැනි එක. ඇවරේජ් ගත්තහම 95%ක් වගේ තියෙනවා. එතකොට තුන්වැනි එක මිලියන 14 හමාරක් පාර්ලිමේන්තුවේ පළමු පැයේ හැමදාම ලොකු අදෝනාවක් ගෙනිච්චට ඇත්ත කතාව තමා, අපි පෙර සුදානමකින් හිටියේ මේ වනවිටත් මං ගාව මිලියන 8ක් තියෙනවා.

අපේ කිසිම අඩුවක් නෑ වැක්සින්වල. ලෝකයේ හුඟාක් පුද්ගලයෝ ආණ්ඩු පස්සේ දුවනවා වැක්සින් එක ඉල්ලගෙන. ලෝකයේ එකම රට ආණ්ඩුව පුරවැසියන් පස්සේ දුවනවා වැක්සින් එක දෙන්න ලංකාවේ. දැන් මේ වෙනකොට 60% පැනලා තියෙනවා. අපි විශ්වාස කරනවා හැම වැක්සින් එකකින්ම යම් රැකවරණයක් තියෙනවා. ඔමික්‍රෝනවලත් මරණ සංඛ්‍යාවේ වැඩිවෙලා තියෙන්නේ 99%ක් ම වැක්සින් එක ගන්නේ නැති අය. අනෙක් අය සංකූලතාවයන් තියෙන අය."

මේ අතර අද දිනයේ දීත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 15,808ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගත වූ දිනයේ පුද්ගලයින් 67,407දෙනෙකු එන්නත්කරණයට ලක්ව තිබේ. එහිදී බූස්ටර් මාත්‍රාව පමණක් පුද්ගලයින් 60,190 දෙනෙකු සඳහා ලබාදි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට මෙරට පුද්ගලයින් 6,123,834 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබේ. මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 290 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 595,028 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් ආසාදිතයින් 16,161 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now