කොරෝනා ගැන මුළු ලෝකයටම සුබම සුබ ආරංචියක්..

Covid Corona Sri Lanka WHO
By Aruna Jan 25, 2022 05:32 AM GMT
Report

මේ වසරේදී කොරෝනා වසංගතය මිහිපිටින් තුරන් කිරීමට හැකියාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා.

ජිනිවා නුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඒ සඳහා එන්නත් සහ ප්‍රතිකාර සඳහා සමාන අවස්ථා සහතික කිරීමට සියලු රටවල් කටයුතු කළ යුතු බවයි.

කොරෝනා වෛරසයේ සහ එහි ප්‍රභේදයන් හි ආසාදිතයන් හඳුනා ගැනීම මෙන්ම අවශ්‍ය සීමාවන් පැනවීම ඒ සඳහා වැදගත් වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වසරේ මැද භාගය වන විට ලොව සෑම රටක්ම සිය ජනගහනයෙන් අවම වශයෙන් සියයට 70ක් පූර්ණ එන්නත්කරණයට ලක් කළ යුතු බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කරද්දී ගත වූ සතියේ සෑම තත්ත්පර 3කට වරක් ලොව කොරෝනා ආසාදිතයන් 100ක් සොයා ගැනුණු අතර සෑම තත්ත්පර 12කට වරක් මරණයක් වාර්තා වුණා.

කොරෝනා වෛරසයෙන් මේ වන විට මිය ගිය ලෝකවාසීන්ගේ සංඛ්‍යාව මිලියන 5.5කට අධිකයි.

ලොව නැවතත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන්. මේ අතර, මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (24) 877ක් ලෙස සටහන් වූ අතර කොරෝනා මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 16ත්, 19ත් අතර පිරිසට කොරෝනා මර්දන දෙවන එන්නත ලබාදීම ඊයේ සිට ආරම්භ කෙරුණා.

එන්නත්කරණ විශේෂඥ කමිටුවේ අනුමැතියට යටත්ව පළමු මාත්‍රාව ලබාගෙන මාස 3 ඉක්ම වූ වයස අවුරුදු 16ත්, 19ත් අතර සියලු දෙනාට ඒ අනුව දෙවන මාත්‍රාව ලබාගත හැකියි.

එසේම අවශ්‍ය තරම් රට තුළ කොරෝනා මර්දන එන්නත් පවතින බව ද කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

මේ අතර, පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now