ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගැන විශේෂ අධිකරණ නියෝගයක්..!

R M Ranjith Madduma Bandara Sajith Premadasa Sarath Fonseka Samagi Jana Balawegaya Harsha de Silva
By Sewvandhi Mar 04, 2024 11:37 AM GMT
Report

කොළඹ දිසා අධිකරණය මගින්, සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය ලබන 19 වෙනදා දක්වා දීර්ඝ කිරීමට නියම කළේය.

අද (04) සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සමක් යළි සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම වාරණ නියෝග නිකුත් කර ඇත්තේ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු වෙතයි.

පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ වාරණ නියෝගයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ඉන් අනතුරුව වාරණ නියෝගය ලබන 19 වනදා දක්වා දීර්ඝ කළ අධිකරණය එදින අදාළ විරෝධතා සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවත් නිවේදනය කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ හිටපු හමුදාපති දයා රත්නායක ව සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් තම සේවාදායකයා ඊට එරෙහිව පළ කළ අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍ය වලින් තොරතුරු පළවී තිබූ බවයි.

එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තම සේවාදායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සහ සමග ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් සරත් ෆොන්සේකා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.