ක්‍රිකට් තරුවලට බදු ගස්වන්න ගිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවගේ උගුල අභියාචනාධිකරණයෙන් කුඩුපට්ටම් වෙයි

Cricket Sri Lanka Cricket Latest Headlines Income Tax Return Sinhala news Puwath.lk
By R.rishma Aug 31, 2026 10:06 AM GMT
Report

ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සලකා බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය අභියාචනාධිකරණය විසින් අවලංගු කර තිබේ.

සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (31) විවෘත අධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2024 ඔක්තෝබර් මාසයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස වර්ගීකරණය කර, එම පදනම මත අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT) අය කිරීමට පියවර ගෙන තිබිණි. එම තීරණය අතීතයටද බලපාන පරිදි ක්‍රියාත්මක කර තිබුණි.

කෙසේ වෙතත්, ගිවිසුම්ගත පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් එම තීරණයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියෝග කරමින් කියා සිටියේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් නොව, ස්වාධීන සේවා සපයන්නන් ලෙස කටයුතු කරන බවයි.

සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවක භාර අරමුදල (ETF), පාරිතෝෂික, වාර්ෂික නිවාඩු සහ මාතෘ නිවාඩු වැනි සාමාන්‍ය සේවා ප්‍රතිලාභ තමන්ට හිමි නොවන බැවින්, තමන් සේවකයන් ලෙස වර්ගීකරණය කළ නොහැකි බවද ක්‍රීඩකයන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

එමෙන්ම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණය හේතුවෙන් වෘත්තීය කොන්ත්‍රාත් ගෙවීම් මාස කිහිපයක් අත්හිටුවීමට සිදුවූ බවද ක්‍රීඩකයන් පෙන්වා දී ඇත.

පිරිමි සහ කාන්තා අංශ නියෝජනය කරමින් කොන්ත්‍රාත්ගත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් 50කට අධික පිරිසක් දිවුරුම් ප්‍රකාශ මගින් සිය කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ බව නීතිඥවරු සඳහන් කළහ.

තීන්දුවෙන් අනතුරුව පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිෂාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා සඳහන් කළේ, ක්‍රීඩකයන් බදු ගෙවීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන බවට නඩුව ආරම්භයේදී වැරදි මතයක් පැවති බවයි.

 ක්‍රීඩකයන් අභියෝග කර තිබුණේ බදු ගෙවීමට නොව, APIT අය කිරීම සඳහා තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සිදුකර ඇති වර්ගීකරණයට බව ඔහු පැවසීය.

මේ අතර, දේශීය ආදායම් පනතට මෑතකදී සිදුකළ සංශෝධනයකින් “ක්‍රීඩා පුද්ගලයන්” ස්වාධීන සේවා සපයන්නන් ලෙස පැහැදිලිව වර්ගීකරණය කර තිබීමද මෙම නඩුවේදී අවධානයට ලක්විය.

කෙසේ වෙතත්, එම සංශෝධනය පෙත්සම්කරුවන්ට අදාළ නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පාර්ශ්වය තර්ක කර තිබූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පවතින ගිවිසුම්ගත සම්බන්ධතාව මත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සේවකයන් ලෙස සැලකිය යුතු බව එම පාර්ශ්වය කියා සිටියේය.

අභියාචනාධිකරණය අද ලබාදුන් තීන්දුව මගින් මෙම මතභේදයට අදාළව ක්‍රීඩකයන්ට පක්ෂව තීන්දුවක් ලබාදී තිබේ.