කොළඹ වන් ගෝල්ෆේස් හී යකා නැටූ සුරාබදු නිලධාරීන් - (VIDEO)

Colombo Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 06, 2023 03:13 PM GMT
Report

ඊයේ (6) රාත්‍රියේ කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් පහරදී ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ ආපන ශාලාවේ ප්‍රධාන කෝකියා හා සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය.

ඊයේ රාත්‍රියේ දී කොළඹ වන් ගෝල්ෆේස් වෙළෙඳ සංකීර්ණයේ 6 වැනි මහළෙහි පිහිටි පීසා ආපන ශාලාවකදී ගැටුමක් හටගෙන තිබුණි. එහි සේවය අවසන් කර ඉන් පිටව යාම සඳහා එක් සේවකයෙකු තම හෙල්මටය අසල වූ මේසයක් මත තබා තිබේ.

එම අවස්ථාවේ පැමිණි සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අදාළ හෙල්මටය රැගෙන යෑමට උත්සාහ කර නැවත වතාවක් එම ස්ථානයේ තබා යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

ඒ සමග අදාළ ආපන ශාලාවේ කළමනාකාරවරයා හා එහි ප්‍රධාන කෝකියා , අදාළ නිලධාරීන් කණ්ඩායම සමග බහින්බස්වීක් ඇති වී තිබේ. ඒ අතරතුර සුරාබදු නිලධාරීන් අවස්ථා කිහිපයකදීම ප්‍රධාන කෝකියාට පහරදීමට උත්සාහ දරණ අයුරු CCTV කැමරාවක පටිගතව තිබුණි.

එහිදී සුරාබදු නිලධාරීන් අතර ඇතිවන පොරබැදීමේදී ඔවුන් අවස්ථා කිහිපයකදීම බිම වැටෙන අයුරුද CCTV කැමරාවක සටහන්ව තිබුණි. අනතුරුව 15 දෙනකුගෙන් පමණ සමන්විත සුරාබදු නිලධාරීන් පිරිස එම ස්ථානයෙන් ගොස් නැවත පැමිණ එහි ප්‍රධාන කෝකියාට බිම දමාගෙන දරුණු ලෙස පහරදී තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ ප්‍රධාන කෝකියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ද මේවන විට තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලිසිය පැවසුවේ පහරදීම සිදුකළ සුරාබදු නිලධාරීන් එම අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිට ඇති බවය.පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මේවන විට ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර විමර්ශන කොටුව පොලිසිය විසින් සිදුකරන බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now