හදිසියේම කොළඹ ප්‍රධාන මාර්ගයක් වසා දමයි..අතුරු මාර්ග භාවිතා කරන්නැයි දැනුම්දීමක්.

Police spokesman Sri Lanka Police Colombo
By Aruna Jan 06, 2024 03:06 AM GMT
Report

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ (ලෝලෙවල් මාර්ගය) වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා මාර්ග කොටස අද (06) රාත්‍රී 10.00 සිට හෙට (07) පස්වරු 5.00 දක්වා වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දෙනුම් දෙනු ලබනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ, ජාතික ජල සම්පාදන සහ ජලාප්‍රවහාන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව හදිසි අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් සඳහා මෙලෙස මාර්ගය වසා තැබීමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් අවිස්සාවේල්ල සිට කොළඹට පැමිණෙන වාහනවලට කොටිකාවත්ත මංසන්ධියෙන් වමට හැරී, ගොතටුව, කොළොන්නාව හරහා දෙමටගොඩ දෙසින් බේස්ලයින් මාර්ගය හෝ කොළොන්නාව මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට ද පිවිසීමේ හැකියාව පවතියි.

එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ, කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට පැමිණෙන වාහනවලට වැල්ලම්පිටිය පොලිස්ථානය ඉදිරියෙන් දකුණට හැරී, කොළොන්නාව හරහා ගොතටුව නගරයෙන් වමට හැරී කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසීමට හැකි බවයි.

මේ අතර, බදුල්ල - මඩකලපුව ප්‍රධාන මාර්ගයට ලුණුගල - අරවාකුඹුර ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි ගමනාගමනය තවදුරටත් නවතා දමා තිබෙන බව වාර්තා වනවා.

අද (06) උදෑසන මෙම පස් කන්ද කඩාවැටී ඇති අතර, ඊයේ උදෑසනත් එම ස්ථානය ආසන්නයෙන්ම පස් කන්දක් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනාගමනය නතර කෙරුණා.

පසුව මාර්ග සංවර්ධන අධිකාරිය පස් කන්ද ඉවත් කර ගමනාගමන කටයුතු යථා තත්වයට පත් කළත් යළි අද උදෑසන මෙම පස්කන්ද කඩාවැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

Sponsored By Sarrita Jewellery