ළමා අපයෝජන ඉහළට. - අපයෝජකයින්ගේ නම් ලැයිස්තුවත් එළියට.

Child Rehabilitation Center Sri Lanka Child Abuse
By Wayomi Mar 07, 2024 05:39 AM GMT
Report

ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා.

අදාළ පුද්ගලයින්ගෙන් ළමුන්ට පවතින අවදානම පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇති බවයි එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ කියා සිටියේ.

ඔහු මේ බව කියා සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

"ළමා අපයෝජන වැරදිවලට විශේෂයෙන්ම ලිංගික අපයෝජන වැරදිවලට වරදකරු වෙලා, දඬුවම් විඳලා නැවත ළමයි ඉන්න පරිශ්‍රයන්ට එන අය සාපේක්ෂව ළමයින්ට අවදානමක් තියෙනවා. ඒ නිසා මේවා සීමා කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. අපි ක්‍රම කිහිපයක් මේ වනවිට යෝජනා කරලා තියෙනවා. ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කරගෙන යනවා ළමා අපයෝජන වරදකරුවන්ගේ ලේඛනයක් හදන්න. ඒ අය නිදහස් වුණත් අවශ්‍ය අයට විතරක් ඒ තොරතුරු ගන්න පුළුවන්. දෙවනුව අපි සාකච්ඡා කරගෙන යනවා ලිංගික අපයෝජනයන් තුළ බරපතළ අපයෝජන සිද්ධිවලට වරදකරුවන් වන තැනැත්තන් දඬුවම් කාලය අවසන් කරලා ආවත් ඔවුන් දරුවන් සමග ඍජුවම ගනුදෙනු කරන පරිශ්‍රයන්ට ඇතුළු වීම සීමා කිරීමට හෝ වැළැක්වීමට නීතිමය ප්‍රතිපාදන ගෙන ආ හැකිද යන්න පිළිබඳව."

පසුගිය වසර තුළ ළමුන් සම්බන්ධයෙන් සිදුවු ලිංගික අපයෝජන සිද්ධීන්වල යම් වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ, අනුව ලංකාව පුරා 2022 වර්ෂයේ අවුරුදු 18ට අඩු වයසේ පසුවන ගැහැනු දරුවන් දූෂණ සිද්ධීන් 1,618ක් වාර්තා වී ඇති අතර, මෙය 2023 වසර වෙන විට 1,639ක් ලෙස දැක්වෙන බවත් අමරසිංහ මහතා වැඩිදුරටත් පේනවා දෙනවා.

මේ අතර ලිංගික අතවර සිදුවීම් 2022 වසරේ දී 1,232ක් වාර්තා වී ඇති අතර, 2023 වසරේ දී එවැනි සිදුවීම් 1,497 දක්වා ඉහළ ඉහළ ගොස් ඇති බවත්, ඊට අමතරව දරුවන්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ සිද්ධි 2022 වසරේ දී 13කුත් 2023 වසරේ දී 22කුත් වාර්තා වී ඇති බවත් ඔහු පවසනවා.